වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි

මැයි 29, 2019

    අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව තවත් කාන්තාවන් 11 දෙනෙකු අද උදේ පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

    ඒ, දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මුලික රෝහලටයි. පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ, 2013 සිට 2015 දක්වා කාලය තුළ දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව සිට, සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ කාන්තාවන් පිරිසක්. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ, තමන්ට ලැබෙන සෑම පැමිණිල්ලක්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි.

    මේ අතර, කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රාජකාරී කළ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද දිනයේ ද පැමිණිලි 74ක් ලැබී ඇතැයි අප වාර්තාකරු පවසයි. ඒ, කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන්ගෙන්. අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරීක්‍ෂණ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් අදත් පැවැත්විණ. ඒ, කුරුණෑගල ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී. එය සංවිධාන කරනු ලැබුවේ, වයඹ රෝහල් සුරැකීමේ සංවිධානය විසින්. වයඹ පළාතේ රෝහල් නියෝජනය කරමින් වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

    Latest News