මහවැලි ජනපදිකයන් 5000ට ඉඩම් ඔප්පු පිළිගැන්වීම හෙට (වීඩියෝ) PMD

මහවැලි ජනපදිකයන් 5000ට ඉඩම් ඔප්පු පිළිගැන්වීම හෙට (වීඩියෝ)

ජූලි 13, 2019

    වලව කලාපයේ මහවැලි ගොවින් පන්දහසකට ඉඩම් අවසරපත‍්‍ර පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (14) පැවැත්වේ.

    සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ ගොවින් පන්දහසකට මෙසේ ඉඩම් අවසරපත‍්‍ර පිළිගැන්වීම සිදු කෙරේ. හෙට පෙරවරුවේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රීඩාංගණයේ දී උත්සවවය පැවැත් වේ.

    මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලූවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ දි මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර සෑම මහවැලි ජනපදිකයෙකු වෙතම මහවැලි බිමේ උරුමය පිරිනැමීමේ ඉලක්කගත වැඩසටහන මේ වන විට අවසන් අදියර කරා පැමිණ තිබේ.


    ඒ අනුව මහවැලි බී කලාපය තුළ ඉඩම් ඔප්පු හා බලපත‍්‍ර 46,609ක් ද, සී කලාපය තුළ ඉඩම් ඔප්පු හා බලපත‍්‍ර 47,808ක ප‍්‍රමාණයක් ද, ඩී කලාපය තුළ ඉඩම් ඔප්පු 5,305 ක ප‍්‍රමාණයක් ද, එච් කලාපය තුළ 22,537 ක්, එල් කලාපය තුළ 14,372ක්, වික්ටෝරියා කලාපය තුළ 4,848ක්, හුරුළුවැව කලාපය තුළ 5,167ක්, මොරගහකන්ද කලාපය තුළ 9,463ක්, වලව කලාපය තුළ 43,718ක් හා රඹකැන්ඔය කලාපය තුළ 5,854ක් බැගින් මේ වන විට ලබාදී තිබේ.

    එමෙන්ම මහවැලි ජනපදිකයන්ගේ ජීවිත නගා සිටුවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුණු අතර මහවැලි කලාප මතින් නිදහස් කලාප බවට පත් කිරීම වෙනුවෙන් ද මේ වන විට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:09

    Latest News