පාස්කු ප්‍රහාරය ගැන පිළිගත හැකි කොමිසමක් අවශ්‍යයි: කාදිනල් රංජිත් හිමිපාණෝ (වීඩියෝ)

ජූලි 31, 2019

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍යය ගවේශනය සඳහා කාටත් පිළිගත හැකි අපක්‍ෂපාතී, විනිවිද භාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටී.

    කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්‍ෂ නායකතුමා එක්ව මෙම කොමිසම පත්කළ යුතු බවයි.

    එහිදී අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ....

    “මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු වන්නේ, ජනාධිපතිතුමා ද, අගමැතිතුමා ද, විරුද්ධ පක්‍ෂ නායකතුමා ද එකට එකතු වී, මේ සිද්ධියට අදාළ පසුතලය විමර්ශනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එක්සත්ව ක්‍රියා කිරීමයි. එහෙත් විරුද්ධ පක්‍ෂයෙන් එවැනි ශක්තිමත් බලපෑමක් සිදු නොවූ බව ද අපට පැහැදිළි වෙනවා. අපේ ලංකාවේ විවිධ අවස්ථාවලදී පත්කරන ලද කොමිසන් සභාවල වාර්තා හුඟක් තියෙන්නේ කාපට් එක යට.

    එබැවින් එවැනි ආකාරයට නොව, නිවැරදි හා කාටත් පිළිගත හැකි ආකාරයට අපක්‍ෂපාතී පුද්ගලයින්ගෙන් යුත් විනිවිද භාවයෙන් යුත් කොමිසන් සභාවක් පත් කර, මෙම ප්‍රහාර පිළිබඳ සම්පුර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා. කොමිසන් සභා පිහිටුවීමේදී ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, විරුද්ධ පක්‍ෂ නායකතුමාත් පක්‍ෂවල නායකවරුත් එකතුව කටයුතු කළ යුතුයි. ඒ අයගේ පොදු තීරණයෙන් තමයි මේ කොමිසන් සභා පත්කළ යුත්තේ. ඒ නිසා කාටවත් වාසිවන විධියට තමන්ගේ පැත්ත විතරක් ඉස්මතු වන විධියට වාර්තාවල් සකස් කරගැනීම වැළැක්විලා සත්‍යය එළියට පැමිණෙනවා.

    එබැවින් ඡන්දයක් පැවැත්වීම ගැන කතාකරන්නට පෙර සියලු බලතල සහිතව අදාළ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම අත්‍යවශ්‍ය මෙන්ම, කඩිනමින් සිදුවිය යුතු කාරණයක් ද වේ. මෙම ඉල්ලීම් ඉටු නොකර එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයෙන් හෝ විරුද්ධ පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වන හෝ එම පක්‍ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිධූර අපේක්‍ෂකයන් මා මුණ නොගැසෙන බව දන්වා සිටිමි. ඒ අය මගේ ගාවට එන්න ඕනේ නැහැ“ යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

    Last modified on බදාදා, 31 ජූලි 2019 20:00

    Latest News