ථෙරවාදි බුදු දහම ලොවට බෙදා හරින්න ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක් වෙයි

අගෝ 10, 2019

    උතුම් ථෙරවාදි බුදු දහම ලොවට බෙදා හරින ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීමට ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක් වෙයි.

    මුළු මහත් ලෝකයටම ථෙරවාදි බුදු දහම බෙදා හරින ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කාම්බෝජයේ අග නගරය වන නොම් පෙන්හි පිහිටි වට් ලංකා ප‍්‍රාකුසුමාරාම් (Wat Langka Preah Kosomaram) විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට අද (10) පෙරවරුවේ එක්වෙමිනි.


    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එම කටයුතු වෙනුවෙන් දෙරටේ තානාපති සබඳතා ද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව කාම්බෝජයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් එම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් කාම්බෝජයේ ශ‍්‍රී ලංකා කොන්සල්වරයෙක් සහ ශ‍්‍රී ලංකාවේ කාම්බෝජ කොන්සල්වරයෙක් පත්කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.


    ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර සබඳතාවල ඓතිහාසික පදනම වන්නේ බුදු දහම වන අතර දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගන්නවා සේම ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමේ උතුම් මෙහෙවර ඉටුකිරීම වෙනුවෙන් ද සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.


    ඒ වෙනුවෙන් කාම්බෝජ රජතුමාගේ, අගමැතිතුමාගේ සහ රජයේ පූර්ණ සහය මේ වන විට හිමිව ඇති බව පැවසු ජනාධිපතිතුමා දෙරටේ මහා සංඝරත්නයේ දායකත්වයෙන් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද කියා සිටියේය. ජනාධිපතිතුමා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බවත් ය. ප‍්‍රා කුසුමාරාම් විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය සම්දෙව් ප‍්‍රා මහා අරියවම්ස ආචාර්ය සා ඕ චන්තෝල් හිමිපාණන් වහන්සේ විසින් මෙරට ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙන්ම කාම්බෝජ බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කිරීමට ශ‍්‍රී ලංකාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී ශාරිරික ධාතුන් වහන්සේලා ද එරටට වැඩම කරවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබිණි.


    ඒ අනුව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ද අනුශාසනා පරිදි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන විහාරස්ථානයට සංඝ පරම්පරාවෙන් හිමිව තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ නමක් මෙන්ම ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් කාම්බෝජයට වැඩම කරවීමට ජනාධිපතිතුමාගේ සංචාරයට සමගාමීව කටයුතු කෙරිනි.


    ප‍්‍රා කුසුමාරාම් විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා අනතුරුව ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ විහාරස්ථානයේ තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව ජය ශ‍්‍රී බෝ සමිඳුන්ගේ අංකුරය පූජා කරනු ලැබීය.


    කාම්බෝජ මහා සංඝරාජ හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. විහාරාධිපති නායක ස්වාමින්වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.

    Latest News