කොළඹ කුණු ගැටලුව සඳුදා අවසන්: අරුවක්කාලු ප්‍රවාහනයට සුපිරි පිරිවැයක් (වීඩියෝ)

අගෝ 10, 2019

    කොළඹ නගරයේ ගොඩගැසී ඇති කසළ ලබන සඳුදා වනවිට සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි වෙතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

    කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ මේ වනවිටත් කසළවලින් මෙට්‍රික් ටොන් 500කට අධික ප්‍රමාණයක් අරුවක්කාලු කසළ අංගනයට රැගෙන ගොස් ඇති බවයි. දින කිහිපයක් පුරා කොළඹ නගරයේ ගොඩගැසුණු කසළ, අරුවක්කාලු සනීපාරක්‍ෂක කසළ අංගනයට බැහැර කිරීම තවදුරටත් සිදු කෙරේ. කොළඹ කැළිකසළ කෙරවලපිටිය කසළ අංගනයට බැහැර කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නතර කරනු ලැබුවේ, ඉකුත් සඳුදා සිට. ඒ හේතුවෙන් නගරයේ ජනතාව දැඩි අපහසුතාවට ලක්වූහ. බාධාවකින් තොරව අරුවක්කාලු කසළ අංගනයට කසළ බැහැර කිරීමට කොළඹ මහා නගර සභාවට ඉඩ ලබා දෙන්නැයි, අභියාචනාධිකරණය, වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට ඊයේ නියෝග කළේය. එම නියෝගය ලබන 28 වැනිදා දක්වා බලාත්මකයි. කිසිදු බාහිර ආයතනයක සහෝගයක් නොලබා, ලබන ජනවාරි මාසය වනවිට කසළ කළමනාකරණ කටයුතු සිදු කිරීමට සැලැස්මක් සකස් කර ඇතැයි, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

    “මාසෙකට මිලියන 150ක ප්‍රමාණයක් ඇත්තටම අපිට වැය වෙනවා. දැන් මේ එක ට්‍රිපර් රථයක මෙට්‍රික් ටොන් දහයක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරනවා. මේ සඳහා ලක්‍ෂයක පමණ මුදලක් එක ටිපර් රථයක් වෙනුවෙන් දැරීමට සිදුවෙනවා. ඒ නිසා විශාල මුදලක් වැය වෙනවා. වර්ෂාවේ යම්කිසි බාධාවක් දැන් ඇති වෙලා තියෙනවා. එකතු කරන ලද කසලවලට ජලය එකතුවීම නිසා. කෙසේ හෝ අපි අනිද්දා දිනය වනවිට මේ සියලු එකතු කරන ලද කසල අරුවක්කාලු දක්වා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සියල්ල දැන් සම්පාදනය කර තියෙනවා. කසළ කළමනාකරණ කටයුතු කිසිදු ආයතනය සහයෝගය නොලබා මං හිතනවා සාර්ථක වැඩපිළිවෙළක් අපට දෙසැම්බර් වනවිට මහනගර සභාවේම වැඩපිළිවෙළකින් සිදුකරන්න පුලුවන් වනු ඇතැයි“ නාගරික කොමසාරිස්වරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 20:10

    Latest News