උතුරු-නැගෙනහිර කාන්තා මූලික පවුල්වලට සමාජ සාධාරණත්වය ලබා දෙනවා; අමාත්‍ය සජිත් (වීඩියෝ)

අගෝ 10, 2019

    උතුරු නැගෙනහිර කාන්තා මූලික පවුල්වල සමාජ අසමානතාව ඉවත් කර සාධාරණය ඉටුකර තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ජාතිය, ආගම කුමක් වුවත් සියලු පුරවැසියන් එක සමාන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගිය විට අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රවල අසමානතාවන් දක්නට ලැබෙන බව ඔහු කියා සිටි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අන්දමට උතුරු නැගෙනහිර කාන්තා මූලික පවුල්වලට සමාජ සාධාරණත්වය සලකමින් නව ආර්ථික හා සමාජීය සංවර්ධනය වැඩ පිළිවෙළක් නිර්මාණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ඇතැම් දේශපාලඥයින් උතුරු නැගෙනහිර ජනතාවට දේශපාලන ලොසින්ජර හා බිස්කට් ලබා දී ඔවුන්ට දේශපාලන බයිට් එකක් බවට පත්කර ගන්නා බවත්, මෙවර උතුරු නැගෙනහිර ජනතාව දේශපාලන බයිට් එකක් බවට පත් කර ගැනීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් ඔහු පෙන්වා දුනී. 30 වසරක යුද්ධයෙන් දුක්විඳි ජනතාවට ශක්තිමත් අනාගතයක් උදා කිරීමට ඇප කැප වෙන බව අමාත්‍යවරා කියා සිටියේය.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ යාපනය දිස්ත්‍රික්කයේ, වලිකාමම් බටහිර ඉදිකළ “සෙන්තමිල් ග්‍රාමම්” සහ තෙන්මාරච්චි ප්‍රදේශයේ ඉදිකළ “තිරුවේරපුරම්”යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (10) දින සහභාගී වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 244 සහ 245 වන ආදර්ශ ගම්මාන මෙයවේ.

    “සෙන්තමිල් ග්‍රාමම්” සහ“තිරුවේරපුරම්”උදා ගම්මාන දෙකෙහි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 44කි. මෙම ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 416කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදා ගම්මාන දෙක සමන්විතයි. “සෙන්තමිල් ග්‍රාමම්” උදා ගම්මානය ඉන්දීය නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකර තිබේ.

    මෙම උත්සවයට සමගාමීව නිවාසලාභීන් 44 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 56ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 44 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 97 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා “නිවාස ණය හා ආධාර”, පාසල් ළමුන් 80 දෙනෙකුට රුපියල් 240,000/= ක් වටිනා පොත් කට්ටල, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 242 ක් සඳහා රුපියල් ලක්ෂ 121 ක් වටිනා ප්‍රතිලාභ සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 46 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා, ඊ. සරවනබවන්, යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් යන මහත්වරු ඇතුළු  විශාල පිරිසක්ද සහභාගී වූහ.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 20:03

    Latest News