ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ලක්සම්බර්ග් විදේශ ඇමති ශ්‍රී ලංකාවේ

පෙබ 01, 2020

    ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති Jean Asselborn මහතා ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    දෙරටේ සබඳතා තර කර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ආගන්තුක ඇමතිවරයා දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බව පැවසීය. පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහනය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දී ලක්සම්බර් රාජ්‍ය යෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහය පිළිබද අවධානය යොමු කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බව ඇමතිවරයා කීය.

    ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට විශේෂ විභවතා ඇති බව ඔහු පැවසීය. සූර්ය හා සුළං බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. කාබනික එළවලු අපනයනය සඳහා ශ්‍රී ලංකාවට තිබෙන ඉහළ හැකියාව ද එතුමා පැහැදිළි කළේය. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගෙන යන වැඩපිළිවෙළ විස්තර කළ ජනාධිපතිතුමා “අපට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්‍ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන බව” ද සඳහන් කළේය. ඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් එතුමා පෙන්වා දුන්නේය.

    Latest News