පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට වැඩසටහන් රැසක්

අප්‍රේ 02, 2020

    අ.පො.ස.(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 දිනට පෙර නිකුත් කරන බවත්, අ.පො.ස(උ.පෙළ) විභාගය කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර නොමැති බවත් අධ්‍යපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රටේ උද්ගතව ඇති වසංගත තත්ත්වය මත අප්‍රේල් මස 20 වන දින පාසල් ආරම්භ කිරීම නිශ්චිතව කිව නොහැකි බව, අමාත්‍යවරයා පැවසීය.

    මේ හේතුවෙන් ස්වයං අධ්‍යාපනය හා විද්‍යුත් අධ්‍යාපනය යන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

    මේ වනවිට පාසල් නිවාඩුව ලබා දී දින 19ක් ගත වී ඇති අතර, පාසල් හා පෙර පාසල් ළමයි මිලියන 5.5ක ප්‍රමාණයක් නිවෙස් වල රැඳී සිටිති.

    ඔවුන් නිකරුණේ කාලය ගත කිරීම වැලැක්වීම සඳහා අප්‍රේල් මස 20 වන දින සිට ජාතික රූපවාහිනියේ අයි නාලිකාව හා නේත්‍රා නාලිකාව ඔස්සේ සිංහල හා දෙමළ භාෂාවෙන් අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කිරීමට සැලසුම් කර ඇත.

    ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය ඊට අනමැතිය ලබා දුන් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    Latest News