“කොවිඩ්-19“ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

අප්‍රේ 19, 2020

    මෙරටින් වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව අද වනවිට 254 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    අද වනවිට ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 86ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ. ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි පුද්ගලයන් වේ. එක් පුද්ගලයෙකු ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක්. රෝගීන් 10 දෙනාගෙන් තිදෙනෙකු සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි අයයි. එම ප්‍රදේශයෙන් තහවුරු වූ කොවිඩ්-19 රෝගියෙකු කොටහේන ප්‍රදේශයේ සැරිසරා ඇති බවට තහවුරු වී තිබිණ.

    ඒ අනුව, ඔහුට සමීපව ක්‍රියා කළ පුද්ගලයන් ඉකුත් දා වැලිසර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබීය. එම පිරිසෙන් 06 දෙනෙකු ඊයේ හමුවූ කොවිඩ්-19 රෝගීන් අතර සිටින බව වාර්තාවේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවිකාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වූවාය. ඇය සමඟ කටයුතු කළ සහයිකාවක් ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අතර, ඇයට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වූවාය. රෝගය වැළඳී සුවපත් වූ 09 දෙනෙකු ඊයේ දිනය තුළ රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව 07ක්. ඒ අනුව කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයන් 163 දෙනෙකු තෝරාගත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. ඒ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මුලික රෝහල සහ ඉරණවිල රෝහලයි.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 103 දෙනෙකු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණ ක්‍රියාත්මකයි. තවදුරටඑත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, කොළඹ, කළුතර, පුත්තලම, ගම්පහ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්. ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 188 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව යුද හමුදාව පවසයි. ජා-ඇළ, සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීමෙන් පසු ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින්ගේ ජෛව පටල සාම්පල පරීක්‍ෂා කිරීම සිදු කෙරේ. පුද්ගලයින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ද යොමු කළේය.

    සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල නිලධාරීන්, රෝගීන් ආශ්‍රය කළ පුද්ගලයින් 35 දෙනෙකුගේ ජෛව පටල සාම්පල පරීක්‍ෂණ සඳහා යොමු කිරීම ඊයේ සිදු කෙරිණ. මින් පෙර ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකුට රෝගය වැළඳුණු අතර, ඔවුන් සමීපව ආශ්‍රය කළ පිරිසකගේ ජෛව පටල සාම්පල ද මේ අතර වේ. ජෛව පටල සාම්පල ලබාගත් ප්‍ර දේශවාසීන් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කළ බව ජා-ඇළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අනුර අබේරත්න මහතා පවසයි.

    Latest News