ජාතික රූපවාහිනියෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහන් පෙළක්

අප්‍රේ 19, 2020

    අයි සහ නේත්‍රා නාලිකා යොදා ගනිමින් විශේෂ අධ්‍යාපන වැඩසටහන් පෙළක් විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පියවර ගෙන තිබේ.

    එය අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මකයි. මෙය නම් කර ඇත්තේ “ගුරුගෙදර, හැදෙන අපි හදන තැන“ නමින්. මෙරට සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින් අධ්‍යාපනය වෙනුවෙන් මෙරට රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

    කොරෝනා ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වන අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කරමින්, වැඩසටහන් විකාශය කිරීම ජනාධිපතිතුමාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන්නක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම ද මීට හිමිවේ. මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවිය. අධ්‍යාපන වැඩසටහන් මාලාව සකස් කෙරෙන්නේ පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය පාඨමාලා හදාරණ දරුවන් ඉලක්ක කරගනිමින්. පාඨමාලා සැකසීම සිදු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි.

    මීට අදාළ ගිවිසුමට බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ දී පසුගියදා අත්සන් තැබිණ. අප්‍රේල් 20 වැනිදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා ද, රාත්‍රී 10.00 සිට රාත්‍රී 12.00 දක්වා ද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමඟ එක්වීමට සිසු දරුවන්ට අවස්ථාව හිමිවේ. 20 වැනිදා උසස් පෙළ සිසුන් සඳහා සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව, භෞතික විද්‍යාව, ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව ද උසස් පෙළ සිංහල විෂය ද ඉගැන්වීමට නියමිතයි. 21 වැනිදා සිට සෑම දිනකම පෙරවරු 4.00 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කිරීමට නියමිතයි.

    ගිවිසුමට අනුව අයි සහ නේත්‍රා නාලිකාවන්හි ගුවන් කාලයෙන් 80%ක් අධ්‍යාපන වැඩසටහන් සඳහා වෙන් කිරීමට නියමිතයි. 60%ක් සාමාන්‍ය අධ්‍යාපන විෂයයන් සඳහා වන අතර, ඉතිරි 20% වෙන් කෙරෙන්නේ, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය සඳහායි. සියලු වැඩසටහන් විකාශය කෙරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ අනුමැතිය සහිතවයි.

    Last modified on ඉරිදා, 19 අප්‍රේල් 2020 19:13

    Latest News