ළමා ගැටලු වැඩසටහනට මහින්ද රාජපක්‍ෂ මහතා තෝරා ගැනීමට යුනිසෙෆ් තීරණය කරයි (වීඩියෝ)

අප්‍රේ 23, 2020
  • ළමා මනසට බලපා ඇති ගැටලුවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තෝරා ගැනීමට යුනිසෙෆ් ආයතනය තීරණය කර තිබේ.

    ඒ අනුව, වයස 18ට අඩු ඕනෑම දරුවෙකුට තම ගැටලුව තත්පර 10ක වීඩියෝවක් ලෙස පටිගත කොට අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට හැකිය.

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය වත්මන් ව්‍යසනකාරී තත්වය හමුවේ ළමුන්ට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබේ. ළමා ගැටලු සඳහා සහනයක් ලබාදීමට වැඩසටහන ආරම්භ කර තිබේ. පටිගත කළ වීඩියෝව ෆේස්බුක් පණිවුඩයක් ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල ෆේස් බුක් පිටුවට යොමු කළ හැකිය.

    මේ පිළිබඳ වැඩි විස්තර අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය කර ඇති දැන්වීම් පෝස්ටුවෙන් ලබාගත හැක. සමාජ මාධ්‍ය ඔස්සේ ගැටලු ලබාගැනීම දැනටමත් ආරම්භ කර ඇතැයි, අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ගැටලු ඉදිරිපත් කිරීම අද රාත්‍රී 12.00ට පෙර සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දරු දැරියන්ගෙන් ඉල්ලා සිටී.

    මේ අතර කොවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් සංස්කෘතික ක්ෂේත්‍රයට සිදුවන බලපෑම අවම කරගැනීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයට සම්බන්ධ රටවල සංස්කෘතික අමාත්‍යවරුන් අතර සාකච්ජාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණ.

    සංස්කෘතිය ක්ෂේත්‍රය වෙත කොවිඩ් 19 වෛරසයේ බලපෑම අවම කිරීම සඳහා යොදා ගන්නා උපාය මාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම මෙහි අරමුණයි. සංස්කෘතික ක්ෂේත්‍රයෙන් නැවත නඟා සිටුවීම සඳහා කලාපීය මට්ටමෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ජාවට ලක්විණ. සාකච්ජාවට සම්බන්ධ වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ කොවිඩ් 19 ඛේදවාචකය මෙරට සංචාරක ක්ෂේත්‍රයට දැඩිව බලපා ඇති බවයි.

    2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් ද සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ජාත්‍යන්තර සංචාරක කටයුතු නැවත ආරම්භ වූ විගය දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ යාන්ත්‍රණ සහිතව මෙරට සංචාරක කටයුතු ආරම්භ කිරීමට ක්‍රියාකරන බව, සාකච්ජාවට සම්බන්ධ වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සංස්කෘතික ස්ථාන නැවත ආරම්භ කිරීම, බහුවිද ක්ෂේත්‍ර නියෝජනය කරන විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වනු ලබන පූර්ණ ඇගයීමකට පසුව සිදු කරන බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී පවසා සිටියේය. මෙම අභියෝගයට එක්ව ජයගැනීමට සැමගේ සාමූහික සහ විවිධ සංස්කෘතික උරුමයන් උපකාරි වෙතැයි, අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 20:27

    Latest News