මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගීන් 337ක් (වීඩියෝ)

අප්‍රේ 23, 2020
  • අද වනවිට ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 337කි.

    ඒ අද දිනය තුළ වාර්තා වූ රෝගීන් 07 දෙනාත් සමගයි. ඔවුන්ගෙන් සිව් දෙනෙක්ම වාර්තා වී ඇත්තේ, කොළඹ ශ්‍රීමත් බණ්ඩාරනායක ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටින පුද්ගලයන් අතරිනි. කොළඹ, කෙසෙල්වත්ත, ශ්‍රීමත් බණ්ඩාරනායක ප්‍රදේශයෙන් COVID-19 රෝගියෙකු හඳුනා ගැනීමත් සමඟ එය සම්පූර්ණයෙන්ම හුදෙකලා කෙරිණ. එම පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල ලබාගෙන පරීක්‍ෂණ සඳහා යොමු කිරීම පසුගිය දින කිහිපයේදීම සිදු කෙරුණු අතර, අදත් පිරිසකගේ සාම්පල ලබාගැණින. එම පිරිස 200කට ආසන්නවේ.

    අද වනවිට COVID-19 රෝගය වැළඳී සුව වූ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වන මරණ සංඛ්‍යාව 07ක්. COVID-19 රෝග වැළදී ඇති බවට තහවුරු කෙරුණු පුද්ගලයන් 223 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. ඒ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහල සහ ඉරණවිල රෝහලේ. කාත්තන්කුඩි මූලික රෝහලට ද තහවුරු වූ රෝගීන් කිහිප දෙනෙකු යොමු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 173 දෙනෙකු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණ ක්‍රියාත්මකයි. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, කලුතර, පුත්තලම, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්වලිනි.

    එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ COVID-19 රෝගියෙකු ප්‍රථම වරට හඳුනා ගැණුනේ ඊයේ දිනයේදීය. එම නිසා පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12කට ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, අභයපුර, සෝමපුර, පටුණුගම, පුලස්තිගම, කෑගලුගම, රිෆායිපුර, අල්-හිලාල්පුර, තඹාල, ලංකාපුර, වීරපුර, බෞද්ධාර්තගම සහ සංඝබෝධිගම යන ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරිණ. එම ප්‍රදේශ අද විෂබීජානුහරණය කිරීම ද සිදු කෙරිණ. ඔහු 32 හැවිරිදි නාවික හමුදා සෙබලෙක්. මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයකොට නිවෙස බලා පැමිණ ඇති අතර, එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් පුලස්තිගම මූලික රෝහලට ඇතුලත් කෙරිණ. අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව ශික්‍ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය. එම පුද්ගලයාගේ නිවැසියන් ඇතුළු 43 දෙනෙකු පනිච්චන්කර්ණි හා මියන්කුලම් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරිණ.

    එම නාවික හමුදා සෙබලා සේවය කළ වැලිසර මහසෙන් නාවික හමුදා කඳවුර මේ වනවිට බාහිර සබඳතාවලින් හුදෙකලා කර තිබේ. ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් PRC පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි. එමෙන්ම, අදියර කිහිපයක් යටතේ කඳවුරේ සියලු දෙනාම PRC පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.

    මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පුද්ගලයන් යොමුකර නිරෝධායන කටයුතු සිදු කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදාවට අයත් මධ්‍යස්ථාන 26කදී එම කටයුතු සිදු කෙරේ. සාර්ථකව සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයන් පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියේය. එම පිරිසට පුද්ගලයන් 19 දෙනෙක් අයත්.

    එමෙන්ම බෙලිඅත්ත පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රදේශවල පුද්ගලයන් 72 දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. ඔවුන් අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්, නිරෝධායන කඳවුරු වෙත යොමුකර සිටි පුද්ගලයින් මෙන්ම අවදානම් කලාපවලින් පැමිණි පුද්ගලයින් ද වේ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඉතිරි පුද්ගලයන් ඉදිරි දින කිහිපය තුළ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමට නියමිත බව, ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ ප්‍රතිශක්ති ධාරක ඖෂධ ද අද ඔවුන්ට ලබාදුන්නේය.

    තවද පුද්ගලයන් 07 දෙනෙකු කොළඹ සිට යාපනය දක්වා ලොරි රථවලින් ඇඳිරිනීති අවසර පත්‍ර නොමැතිව ගොස් ඇති බව ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අද ඔවුන්ට හඳුනාගෙන තිබේ. එම පිරිස යාපනය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු විඩත්තල්පලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස නියෝග කෙරිණ. ඔවුන්ගේ ජෛව පටල සාම්පල ලබාගෙන පරීක්‍ෂණ වෙත යොමුකර ඇති අතර එම පුද්ගලයන් සිටි නිවෙස් හතේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ආරුමුගම් කේදීෂ්වරන් මහතා පවසයි.

    එමෙන්ම පිළියන්දල ප්‍රදේශයේදී හමු වූ COVID-19 රෝගියා ළඟින් ඇසුරු කළ, ඒ බව වසං කළ පුද්ගලයෙකු අද හඳනාගෙන තිබේ. එම පුද්ගලයාගේ මවට වැළඳුණු අසනීප තත්වයක් හේතුවෙන්, මේ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත දන්වා ඇත. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිතව ඇයව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

    තවද හුදෙලා ප්‍රදේශයක් බවට පත් කෙරුණු අකුරණ ප්‍රදේශය තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මකයි. අද එම ප්‍රදේශය විෂබීජානුහරණය කිරීම දක්නට ලැබුණු බව අප වාර්තාකරු පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 20:41

    Latest News