රු. 5000 දීමනාවේ දෙවැනි අදියර ලබන සතියේ සිට

මැයි 05, 2020

    දෛනික ජීවිකාව අඩාල වූ ජන කොටස් සඳහා රජය ලබාදෙන රුපියල් 5000 දීමනාවේ දෙවැනි අදියර ලබන සතියේ සිට ගෙවීම ආරම්භ කරන බව, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

    ඒ සඳහා අද අට ලක්‍ෂයක ජනතාවක් සුදුසුකම් ලබා තිබේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් සහ අවුරුදු 100ට වැඩි පුද්ගලයන් සඳහා මාර්තු මස සිට රුපියල් පන්

    දහස බැගින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 450ක්. ලක්‍ෂ 17ක් වූ සමෘද්ධිලාභීන්ට ද පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයන්ට ද මැයි මස දීමනාව ලබාදීමට භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කර ඇති බව ආටිගල මහතා පවසයි. සියලුම රජයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ද අද සහ හෙට ගෙවා අවසන් කිරීමට නියමිතයි.

    කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික සේවකයන් සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් තම විශ්‍රාම වැටුප ලබාගැනීමට පැමිණ සිටියේය. රාජ්‍ය බැංකුවලට පැමිණි ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට නිලධාරීන් ක්‍රියා කළේය.

    වෙසක් පොහොයට පෙර, වැටුප ලබාදීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ විශ්‍රාම වැටුප් හිමියන් සිය ප්‍රසාදය පළ කළේය.

    හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලය ද විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කර තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආබාධ සහිත පුද්ගලයන්ට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම මෙහිදී සිදු කෙරිණ.

    බණ්ඩාරගම ප්‍රදේශයේ විශ්‍රාමික ජනතාවට සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට බැංකුව වෙත පැමිණියේය.

    පුත්තලම දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන් 14,665 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම අද ආරම්භ කෙරිණ. බැංකු සහ තැපැල් කාර්යාලවලින් එය ලබාගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ද සලසා තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන් 60,069 දෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවීම අද ආරම්භ කෙරිණ.

    විශ්‍රාම වැටුප් ලබාගැනීමට බණ්ඩාරවෙල නගරයට පැමිණෙන පුද්ගලයන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පරීක්‍ෂා කරනු ලැබීය. රෝගී විශ්‍රාමිකයන්ගේ වැටුප නිවසටම ගොස් ලබාදීමට ද පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එප්පාවල ප්‍රදේශයේ විශ්‍රාමිකයන්ට වැටුප් ලබාදීම අද සිදු කෙරිණ.

    Latest News