5, 11, 13 ශ්‍රේණිවල සිසුන්ට හෙට (06) පාසල් විවෘතයි

ජූලි 05, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් දින 115කට පසු සිසුන්ට හෙට (06) යළි විවෘත වේ.

    ඒ අනුව හෙට (06) පාසල්වලට පැමිණිය යුත්තේ 5, 11, 13 ශ්‍රේණිවල සිසුන් පමණි. එම සංඛ්‍යාව ලක්‍ෂ 08ක් පමණ වෙතැයි සැලකේ. පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියර යටතේ මෙය ක්‍රියාත්මකයි. දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙන ප්‍රථම අදියර මෙයයි. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන සේවකයන් සහ සෙසු කාර්ය මණ්ඩල පසුගිය සඳුදා පාසල්වලට කැඳවනු ලැබීය. කාල සටහන් නිර්මාණය කිරීම, සෞඛ්‍ය උපදෙස්වලට අනුව පාසල් සකස් කළ යුතු ආකාරය මෙහිදී සාකච්ජා කෙරිණ.

    සංශෝධික කාල සටහන් යටතේ හෙට දින පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට, පෙ.ව.7.30 සිට 3.30 දක්වාත්, 5 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් පෙ.ව. 7.30 සිට 1.30 දක්වාත් පාසල් පැවැත්වේ. දරුවන් පාසලට එවීමේදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ ද යන්න පිලිබඳ විමසිලිමත් විය යුතු බවත් එවැනි තත්වයක් පෙන්නුම් කරයි නම්, පාසල් එවීමෙන් වැළකී සිටින ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. කිසියම් දරුවෙකු රෝගී තත්වයක් පෙන්නුම් කළහොත්, සෞඛාරක්‍ෂිත ක්‍රමවේද අනුව ගිලන් කාමර වෙත කැඳවා මූලික ප්‍රතිකාර ලබාදීමටත්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත්, පාසල් ප්‍රධානීන් හා ගුරුභවතුන් දැනුවත් කර තිබේ.

    සියලුම දරුවන්, ගුරුවරුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව පාසලට පැමිණිමේදී සහ බැහැරව යාමේදී මුව ආවරණ පැළඳිය යුතුය. ගුරුවරුන් තමන්ට නියමිත කාල සටහන් අනුව අදාළ කාල පරිච්ජේද තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳී සිටිම ප්‍රමාණවත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විදුහල්පතිවරයා අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර, සියලු ගුරුවරුන් පාසල් තුළ ප.ව. 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ගුරුවරුන් තමන්ට නියමිත කාල වේලා අනුව පැමිණිම සහ පිටවීම සටහන් තැබිය යුතුය. ගුරුවරයාට නියමිත කාල පරිජ්ජේද තුළ ඉගැන්වීම් කටයුතු අවසන් කළ පසු පාසලෙන් බැහැරව යාමට අවස්ථාව ලබාදිය යුතුය. පාසල් වාර විභාග, ක්‍රීඩා තරග හෝ විෂය බාහිර කටයුතු සංවිධාන කිරීමෙන් වළකින ලෙසත්, ඉගෙනුම් ක්‍රියාවලිය සඳහාම පමණක් පාසල තුළ අවශ්‍ය පසුබිම සකසන ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ, අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. සෙසු ශ්‍රේණිවල සිසුන් තවත් අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී කැඳවීමට නියමිතයි. 10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙන්නේ ජූලි මස 20 වැනිදා සිටයි. සිව්වැනි අදියර යටතේ, ජුලි 27 වැනිදා 3,4,6,7,8, සහ 9 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි. පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් යළි ආරම්භ කරනු ලබන්නේ, අගෝස්තු 10 වැනිදා සිටයි.

    Latest News