මුල්ගිරිගල රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය අගමැති අතින්

ජූලි 05, 2020

    මුල්ගිරිගල රජමහා විහාරයේ ශෛලතලා මස්තකය මුදුනෙහි ස්ථාපනය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණ.

    අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරිම නිමිත්තෙන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කෙරිණ. කිලෝ 3,500ක් බරැති ප්‍රතිමාව අඩි 08ක උසින් යුක්තයි. ගුවන් හමුදාවට අයත් “එම් අයි 17“ ගුවන් යානයකින් පිළිම වහන්සේ කඳු මුදුනට වැඩිම කිරීම සිදුකර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව එහි ආගමික වතාවත්වල නිරතවිය.

    මුල්ගිරිගල, රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරයා විසින් මාතර වැල්ලබඩපත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නායක හිමියන් වහන්සේට පිලිගැන්විණ. විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමට, අමාත්‍ය චමල් රාජපක්‍ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන් එක්වූහ. අනුශාසනාව සිදු කළේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසිනි.

    Latest News