සහල් හිඟයක් ඇති කිරීමට අතර මැදියන්ට ඉඩ නොදෙන්න; ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි (වීඩියෝ)

ජූලි 05, 2020
  • සහල් හිඟයක් ඇති කිරීමට අතර මැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

    ඒ, පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වූ අවස්ථාවේ. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිනිස මෙම ජනහමුව සංවිධාන කර තිබිණ.

    මහබැංකු බැඳුම්කර වංචාවට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ද ප්‍රදේශවාසීන් මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය. රැකියා ප්‍රශ්න මෙන්ම වන අලි තර්ජනය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාවට මුහුණ පා සිටින ගැටලුවක්. ඊට විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්‍ෂක ජගත් සමරවික්‍රම යන මහත්වරුන් මේ අවස්ථාවට එක්වූහ.

    මහියංගන-පොළොන්නරුව මාර්ගයේ, කලුකැලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා සහබාගි විය. එය සංවිධාන කළේ පොදුජන පෙරමුණේ, අපේක්‍ෂක ජයසිංහ බණ්ඩා මහතායි.

    මනම්පිටිය “ප්‍රතිභා“ ශාලාවේ පැවති හමුවකට ද ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද එක්විය. මහා සංඝරත්නය, මෙහිදී ජනාධිපතිතුමාට යෝජනාවලියක් බාරදුන් අතර, එතුමාට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කළේය. “ප්‍රතිභා“ ශාලාව ඉදිරිපිටට රැස්ව සිටි ගුරුවරුන් පිරිසක් ජනාධිපතිතුමා හමුවූ අතර ඔවුන් ද එතුමාට යෝජනාවලියක් බාරදුන්නේය.

    කඳුරුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවකට ද ජනාධිපතිතුමා අද දහවල් සහභාගි විය. එය සංවිධාන කළේ, හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතායි. ප්‍රාදේශීය වැව් පිලිසකර කරදෙන ලෙස රැස්ව සිටි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය. බිත්තර වී සහ පොහොර ගැටලුව පිලිබඳව ද ඔවුන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේය.

    ගල්වල හන්දිය, තඹාල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා අද එක්විය. එහිදී රැස්ව සිටි ජනතාව සමඟ සුහද කතා බහක ද නිරත විය. 

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිටදී පැවැත්විණ. එම අවස්ථාවට එක්වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමඟ සුහක පළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියේය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 11:37

    Latest News