2016ට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ට ද අග්‍රහාර ප්‍රතිලාභ; අමාත්‍ය බන්දුල

ජූලි 23, 2020

    2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා ද අග්‍රහාර ප්‍රතිලාභ පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

    මෙතෙක් එම ප්‍රතිලාභ හිමිවුයේ 2016 ජනවාරි පළමු වැනි දිනට පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සඳහා පමණි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිලිබඳව පැහැදිලි කළේය.

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත්ව කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සඳහා නෛතික හා පරිපාලන පියවර නිර්දේශ කිරීමට හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ. අදාළ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් එම කමිටුවට ඇතුළත්.

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ නිවාස හිමියන් අතුරින් තවදුරටත් කුලී නිවාසවල පදිංචිව සිටින පවුල් 46ක් සඳහා පළාත් තක්සේරුකරු නිර්දේශ කළ නිවාස කුලිය ලබන සැප්තැම්බර් 30 දක්වා ගෙවීමට නියමිතයි. එමෙන්ම නායයෑමේ අවදානම නිසා ඉවත් කිරීමට නිර්දේශිත පවුල් සඳහා නව නිවාස 118ක් ඉදිකිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මේ දිනවල ජනතාව හමුවන අවස්ථාවේදී ඉඩම් ඔප්පු ලබාදෙන ලෙස ජනතාව කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් තැන්පත්කරුවන්ට අහිමිවූ මුදල් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    අද පැවති අවසන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ යන මහත්වරුන් මාධ්‍ය සමඟ සුහදව කටයුතු කිරීම පිලිබඳව මාධ්‍යෙව්දීන්ගේ ඇගයීමට ලක්විය. එහිදී ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සමරු තිළිණයක් ද පිරිනැමීය.

    Latest News