පසුගිය රජය සමයේ ජාතික විධායක සභාව ක්‍රියාත්මක වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ද යන්න පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ලබන මස 12 වැනිදා දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයා බැලීමේ පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි නිකුත් කර තිබේ.
කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද මෙම නොතීසී නිකුත් කළේ, එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.
දේශපාලන අරමුනු වෙනුවෙන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම පිළිබඳව ඔහු කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළව වැඩිදුර සාක්ෂි විමසීම අද සිදු කෙරිණ. එහිදී ඔහු අවධාරණය කලේ, දේශපාලන කෝන්තරයක් මත හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා පසුගිය යහපාලන රජය එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ තමාව ඊට යොදා ගත් බවයි. දේශපාලන පලිගැනීමකට තමා අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පෙන්වා දුන් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ දැනට ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩු දෙක ඉදිරියට පවත්වාගෙන යාම වැළැක්වීමට නිර්දේශ කරන ලෙසයි.
එමෙන්ම අසත්‍ය සාක්ෂි මත තමා අත්අඩංගුවට ගැනීමෙන් වයස අවුරුදු 60 දක්වා රාජ්‍ය සේවයේ නිරතවීමට තිබූ අවස්ථාව අහිමි වූ බව ද ඔහු සඳහන් කලේය. එම කාලය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස නැවත කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් තමාට සහ තම පවුලට සිදුවූ අපකිර්තියට මෙන්ම සමාජ ආර්ථික වශයෙන් සිදුවූ හානියට රුපියල් මිලියන 50ක වන්දියක් හෝ කොමිසම නිර්දේශ කරන සාධාරණ වන්දියක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
කොමිසම අද රැස්වූයේ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සාමාජිකයන් වේ.
2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 19 වැනිදායින් අවසන් වූ කාලසීමාවේ රාජ්‍ය නිලධාරීන්, සංස්ථා සේවකයින්, හමුදා-පොලිස් සාමාජිකයින්ට සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීම සඳහා මෙම ජනාධිපති කොමිසම පත්කර තිබේ.