රහසිගත කංසා හේන් වටලයි

අගෝ 15, 2020

    හම්බේගමුව, අරඹෙකෙම, උණකන්ද කැලෑව තුළ රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ කංසා හේන් තුනක් සොයා ගැනීමට කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකය සමත්විය.

    ඔවුන් එම ජාවාරම හෙළිකර ගෙන ඇත්තේ දින දෙකක් තුළ කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි. මෙහෙයුම සඳහා වීරවිල ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගේ සහය ද ලැබිණ. වැටලීම සිදුකරන අවස්ථාවේ කංසා හේන් තුන නඩත්තු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන් බාරයට ගනු ලැබූහ. ඔවුන් හම්බේගමුව ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බව වාර්තාවේ.

    කංසා ගස් 11,000ක් පමණ වගාකර තිබූ අතර, සරුවට වැඩීමෙන් අනතුරුව අස්වනු නෙලීම සඳහා සූදානම් කර තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙලි වී ඇත්තේ කංසා අස්වනු නෙලා ගැනීමෙන් පසු ඒවා වියලා කිලෝව බැගින් වූ පාර්සල් ලෙස සකස් කර කැලය තුළ වළ දමා මිල වැඩිවන කාලයට විටින් විට ගොඩ ගෙන අලෙවි කරන බවයි. ගංජා හේන් තුන ගිනි තබා විනාශ කිරීමට සුරාබදු නිලධාරීන් කටයුතු කළේය. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අතර සුරාබදු නිලධාරීන් පසුගිය 11 වැනි දින යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගේ ප්‍රදේශයේ ද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහිදී වන උද්‍යානය තුල කිලෝ මීටර 10ක් පමණ ඇතුළත ස්ථානයක අක්කරයක පමණ භූමි ප්‍රදේශයක පවත්වාගෙන ගොස් තිබූ කංසා වගාවක් සොයා ගැනීමට හැකිවී තිබේ. එහි අස්වනු නෙලා අවසන් කර තිබූ අතර, කංසා නැවත වගා කිරීම සඳහා පැල තවාන් සිදු කරගෙන ගොස් තිබිණ.

    Latest News