වැටලීම්වලදී සැකපිට 422ක් අත්අඩංගුවට

අගෝ 15, 2020

    බස්නාහිර පළාත තුළ ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා පොලිසිය කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට 422ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 391ක්. හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 151ක් සිදු කෙරුණු අතර, එහිදී සැකකරුවන් 151 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් 100 දෙනෙකු පොලිස් අත්අඩංගුට පත්ව තිබේ. නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සංඛ්‍යාව 109ක්. ගෝඩා සහ අයිස් මත්ද්‍රව්‍ය සැකකරුවන් 16 දෙනෙකු ද වෙනත් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් 46 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ. හෙරොයින් සම්බන්ධ වැටලීම් සිදුකර ඇත්තේ, කොළඹ බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ මොරටුමුල්ල යන ප්‍රදේශවලදී.

    මේ අතර, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන් තොටළඟ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ඊයේ සවස විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණ. එහිදී නිවාස 870ක් පරීක්‍ෂා කළ බව පොලිසිය පවසයි. මත්කුඩු, මත්පෙති, කසිප්පු සහ කේරළ ගංජා ළඟ තබාගැනීම, අනන්‍යතාව ඔප්පු කිරීමට නොහැකිවීම ආදිය සම්බන්ධයෙන් 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් හාර ලක්‍ෂ 85,000ක මුදලක් සහ ජංගම දුරකතන 7ක් ද පොලිසියට බාරයට ගැණින. සැකකරුවන් අතර කාන්තාවන් 11 දෙනෙකු ද සිටී. මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි.

    Latest News