කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,670ක් (වීඩියෝ)

අගෝ 16, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,666 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 212 දෙනෙකු පමණි. මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු සිව් දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබීය. ඉන් 2ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයවේ. තවත් අයෙකු තුර්කියේ සිට ආ තුර්කි ගුවන් සේවා සාමාජිකයෙකු වන අතර, අනෙක් තැනැත්තා මාලදිවයිනේ සිට පැමිණි අයෙක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2666 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 92.24ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 7.98ක්.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මේ දක්වා කොවිඩ්-19 රෝගීන් 629 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඉන් 482ක් මේ වනවිට පූර්ණ සුවය ලබා අවසන්. එම ප්‍රතිශතය 76.62ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 147 දෙනෙකු පමණි.

    මේ වනවිට 30,524 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර තිබේ. මධ්‍යස්ථාන 42ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 47,056 දෙනෙක්. දිවයිනේ මේ දක්වා පීසීආර් පරීක්‍ෂණ එක් ලක්‍ෂ 85,118ක් සිදුකර ඇති අතර, ඊයේ පීසීආර් පරීක්‍ෂණ 1,120ක් සිදු කෙරිණ.

    කොවිඩ්-19 රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව ඩුබායි හි රැඳී සිටි පිරිසක් අද උදේ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. 279 දෙනෙකු ඊට අයත්. සියළු දෙනා ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    වවුනියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අවසන් කර ඊයේ එම මධ්‍යස්ථානයෙන් පිටව ගියේය. 154 දෙනෙකු ඊට ඇතුලත් වන අතර, ඔවුන් මෙරටට පැමිණ තිබුණේ, ඩුබායි සිටයි. නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසු පීසීආර් පරීක්‍ෂණ සිදුකර ඔවුන් සිය නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:25

    Latest News