වරාය පිවිසුමේ සිට බත්තරමුල්ලට පාපැදි මංතීරුවක්

සැප් 25, 2020

    කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට පාපැදි මංතීරුවක් ඉදිකිරීම සඳහා මූලික සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතී.

    නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා මේ බව සඳහන් කළේය.

    පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පාපැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ඉතා ආරක්ෂාකාරී ලෙස ගමන් කිරීමට හැකි පරිසරයක් ද මේ තුළින් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.

    ප්‍රධාන මාර්ගයට පිවිසෙන රථවාහන අවම කිරීම තුළින් මාර්ග තදබදය අවම කිරීමේ හා පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම පාපාදි මාර්ගයේ දුර කිලෝමීටර 23 කි.

    පළල අවම මීටර 1.5 ක් ද වන අතර උපරිමය මීටර 2.5 ක් වන මෙම පාපැදි මංතීරුව කොළඹ වරාය නගරයෙන් ආරම්භ කිරීමට නියමිතය.

    අදියර 01 යටතේ මේ මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් වේ.

    ඕනෑම ස්ථානයකින් මුදල් ගෙවා පාපැදියක් ලබාගෙන මේ ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පාපැදිය භාර දිය හැකියි.

    Latest News