ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම තමාගේ සහ රජයේ පළමු සහ ප්‍රධාන වගකීම; ජනපති

ඔක් 04, 2020

    ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම තමාගේ සහ රජයේ පළමු සහ ප්‍රධාන වගකීම බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරයි.

    පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත් කිරීමට තමන් කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බව, ෆේස්බුක් සටහනක් තබමින් ජනාධිපතිතුමා කියා සිටී.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙම ෆේස්බුක් සටහන තබා තිබුණේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මාස පහකට පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන විවිධ අදහස් සැලකිල්ලට ගනිමින්.

    පසුගිය අප්‍රේල් 14 වැනිදා රියාජ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිටයි. ජනාධිපතිතුමන් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණ.

    උපුටා ගැනීම;-

    ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට ඉඩ නොතබවන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන් ආරක්‍ෂා කරන බව, සහතික වන්නෙමු. 

    2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හේත්‍රවුයේ ආරක්‍ෂක ක්‍ෂ්ත්‍රයේ සිදුවු බරපතල කඩා වැටීමත්, ත්‍රස්තවාදයට හා අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී තිබීමත්ය.

    එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන, සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මගින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී.

    එමෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්‍ෂණ සිදු කරමින් සිටී. එම විභාග සහ පරීක්‍ෂණවලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත. පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත් කිරීමට මා සූදානම් නැත.

    එය නිසි පරීක්‍ෂණවලින් පසු අදාළ බලධාරීන් නීත්‍යානුකූලව ඉටු කරනු ඇත. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් අප රජය ඇතිකර ගෙන නොමැති බව, අවධාරණය කරමි.

    මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදුවන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බව, ජනතාවට සහතික කරමි.

    Latest News