දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ, දියණියටත් කොරෝනා

ඔක් 04, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ දියණියට ද එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    ඒ, හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දී සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණයේදී. එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් සහ හඳුනාගත් ආශ්‍රිතයන් සියලු දෙනා ද නිරෝධායනයට යොමුකර තිබේ.

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇත්තේ, දිවුලපිටිය, බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්. එම කාන්තාවට රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ ඊයේ. රෝගී තත්වයක් හේතුවෙන්, ඉකුත් 28 වැනිදා ඇය ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබේ. අනතුරුව, ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 30 වැනිදායි. ඒ, ඇතිව තිබූ ශ්වසනාබාධයක් හේතුවෙන්, ඇයට කොවිඩ් 19 රෝගය ශරීර ගතවී ඇති බවට තහවුර වූයේ කළ පීසීආර් පරීක්‍ෂාවේදී. අනතුරුව එම කාන්තාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම කාන්තාවගේ පවුලේ සියලු දෙනාම යුද හමුදාවේ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත, ඊයේ රාත්‍රියේ යොමු කෙරිණ. ආසාදිත කාන්තාව ගමන් ගත් පෞද්ගලික කර්මාන්ත ශාලාවට අයත් බස් රථයේ සිටි පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. ඇය සේවය කළ කර්මාන්ත ශාලාව යළි දැනුම් දෙනතුරු වසා තැබීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.

    මේ අතර, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනුණු කාන්තාව සේවය කළ පෞද්ගලික කර්මාන්ත ශාලා පරිශ්‍රය, විෂබීජානුහරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.

    වෛරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලධාරීන්ගේ උපදෙස් මත අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින තත්වය මත, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට, යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. එම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම සහ ඒ ඔස්සේ ගමන් කිරීම ද තහනම්.

    දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 රෝගය වැළඳුණු රෝගියා වාර්තාවීමත් සමඟ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ජාවක් අද (04) පැවැත්විණ. ඒ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. සාකච්ජාව පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ රෝගය වැළඳුණු කාන්තාවගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම ඇතුළු කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

    උණ පවතින්නේ නම්, පී.සී.ආර්. පරීක්‍ෂණයට යොමු වන්නැයි, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. සීදරන් මහතා ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින්ට නැවත දැනුම් දෙනතුරු රාජකාරියට වාර්තා නොකරන ලෙස දන්වා තිබේ. ඉහත ප්‍රදේශ හැර, ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින අය හෙට දින පමණක් රාජකාරියට වාර්තා නොකළ යුතුය. ප්‍රදේශවල ඇති කඳවුරුවල සිටින පිරිස්, එහිම රඳවා ගන්නා ලෙසට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපදෙස් දී තිබේ.

    රජයේ කාර්යාලවල මහජන දිනය මේ සතියේ නොපැවැත්වෙන බව, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    Latest News