බැඳුම්කර වංචාවට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකර ඇති බව, නාලක ගොඩහේවා පවසයි

ඔක් 06, 2020

    යහපාලන ආණ්ඩු සමයේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකර නඩු පවරා ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද ප්‍රකාශ කළා.

    ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

    "තාරුණ්‍යට හෙටක්" සංවිධානයේ වැඩමුළු සංවිධානය කිරීම සඳහා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන 5 ක මුදලක අනුග්‍රහකත්වයක් ලබාදීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී අසත්‍ය චෝදනා ගොනු කරමින් තමාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

    ඔහු සඳහන් කළේ අදාළ මුදල් ලබාදීම නීත්‍යානුකූලව සිදුකළ බවයි.

    කෙසේ වෙතත් මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව ජනමතයක් ගොඩනැගීම හා යහපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත නොකිරීම නිසා තමාට එරෙහිව මහධිකරණයේ නඩු පැවරීම එවකට අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පිහිටවූ දූෂණ විරෝධී කමිටුවෙන් ලද පැමිණිල්ලක් මත මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකර ඇතැයි, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

    ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළේ තාරුණ්‍යට හෙටක් සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවීම සහ බැදුම්කර වංචාවට එරෙහි ජනමතයක් ගොඩනැගූ තමා දූෂිතයෙකු ලෙස හුවා දැක්වීම අරමුණු කරගනිමින් යහපාලන ආණ්ඩුව මෙම නඩුව පැවරීමට කටයුතු කළ බවයි.

    මෙම කරුණු සළකා බැලූ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විජේදාස රාජපක්ෂ හැර හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සියලු සාමාජිකයින්ට ලබන 16 වැනි දින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර ඇති බවයි.

    Latest News