නාමල් කුමාර හිටපු ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලැබූ අයෙක්; හිටපු පොලිස්පති

ඔක් 09, 2020

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතන කුමක්ත්‍රණයක කරුණු හෙළි කළ නාමල් කුමාර නමැත්තා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලැබූ අයෙකු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

    ඒ පාස්කු ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්. ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කළේ, සහරාන් සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය සිදුකළ විමර්ශනවලට හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා බලපෑම් කළ බවට සැකයක් පවතින බවයි.

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදීමට පැමිණියේ 9 වෙනි දිනටයි.

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - "ඔබ සාමාන්‍යයෙන් ඔබේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යවන වාර්තාවල සටහන් කරලා තිබුණේ ටිකක් දිගු සටහන්. ඒ බව මේ කොමිසමට ඉදිරිපත් වූ ලේඛන මගින් පෙනී යනවා. නමුත් ඔබ අප්‍රේල් 9 වෙනිදා ඔබේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ප්‍රහාරය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඉදිරිපත් කළේ 'F.N.A' කියලා විතරයි. ඇයි ඒ ? "

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "ඒ තොරතුරු ඇතුළත් ලිපිය රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එවපු එකක්. ඒකේ මූලාශ්‍රය සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ඒකේ තිබුණ තොරතුරුවල ස්ථීරත්වය ගැන SIS එකත් තහවුරු කරලා තිබුණේ නැහැ. ඒක ගැටලුවක්. අනික මේ වනවිට ජනාධිපති මට දීලා තිබුණ ඉස්ලාම් අන්තවාදය ගැන හොයන්න එපා කියපු නියෝගයත් තිබුණා. මේ කාරණා සියල්ල ගැන හිතලයි මම F.N.A විතරක් යොදලා මගේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනාට යැව්වේ මේ තොරතුර."

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - "මෙපමණ වැදගත් තොරතුරක් ලැබිලත් හිටපු ජනාධිපතිතුමා මේ කොමිසමේ කියපු විදියට ඇයි එතුමා රට යනකොටත් ගුවන්‍ යානයට නැගපු ඔබ මේ ගැන එතුමාට නොකිව්වේ ? "

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "මට මතක විදියටනම් මං එදා ගුවන් තොටුපළේදි ආචාර කළා. හැබැයි ඔය කියන විදියට ෆ්ලයිට් එකට නැගක ළඟට ගිහින් ඉදලා ආවේ නෑ ස්වාමීනි. මං දන්නවා එතුමා මා කෙරෙහි ලොකු අප්‍රියතාවකින් හිටියේ. මාව එච්චර එතුමට රුචිත් නැනේ. මං එතුමාට කතා කළත් අහක බලන් 'ඇයි මොකද' කියලා කේන්තියෙන් අහන්නේ. ඉතින් මන් කොහොමත් කතා කරන එක මඟහැරියා. අවස්ථා කිහිපයක හමුවෙලත් මං ඔය තොරතුර දුන්නේ නෑ කියලනේ එතුමා කියන්නේ. එකක් මේ රට ගිය සිද්ධිය. අනික එතුමාගේ මඩකලපුවෙ සංචාරෙ වෙලාවෙ. අනික තමයි අවුරුද්දට බුලත් දීපු එක. "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - "නිකන් නෙවෙයිනෙ ජයසුන්දර මහත්තයා... එතුමා කිව්වේ අවුරුද්දට ඇවිත් පැය 2ක් ඉදලා දවල්ටත් කාලා ගියේ ඒත් කිව්වේ නැහැ කියලානේ..?"

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "ස්වාමීනි ඒක අමූලික පට්ට පල් බොරුවක්. මං එහෙ හිටියෙත් විනාඩි 20ක් විතර. මං යන්න කලින් ජනාධිපති ආරක්ෂක දිසාව භාර රොහාන් සිල්වාට කිව්වා ගේට්ටුව ළඟට එන්න මාත් එක්ක ඇතුළට යන්න කියලා. මොකද මම මෛත්‍රීපාල මහත්තයට අගුණයි වුණාට රොහාන් එතුමාගෙ කෙනා නිසා ප්‍රශ්නයක් නැනේ. ඉතින් මම රොහාන් එක්ක ඇතුළට යද්දි ළමයි ගොඩක් ඇවිත් හිටියා අවුරුද්දට. මම ගිහින් බුලත් දුන්නා මං එක්ක එක වචනයක් කතා කළේ නැහැ. මං දවල්ට කන්න තියා වතුර උගුරක්වත් නොබී ආයෙ ආවා ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - "ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා බොරුද කියලා තියෙන්නේ ? "

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "පුරුද්දක් හැටියට බොරු කියනවානෙ හිටපු ජනාධිපතිතුමා. ඒක එතුමාගෙ පුරුද්ද. ඒක හැමෝම දන්නවානේ. මං මෙච්චර කල් නොකියපු අර නිශාන්ත සිල්වා මාරු කරන්න කියලා ආයෙ එහෙම කිව්වේ නැ කියපු එකත් එහෙමනේ "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - "ඔබ එහෙම මෙතෙක් නොකියපු තව මොනවාද තියෙන්නේ ?"

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "මෙතෙක් එළියට නොදාපු ගොඩක් දේවල් තියෙනවා ස්වාමීනි. එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. නාමල් කුමාරව මම දැනගෙන සිටියේ නැහැ. ඔහු දවසක් මගේ නම්බරේ හොයාගෙන මට කෝල් කරලා කිව්වා මත්ද්‍රව්‍ය සම්බන්ධ අය ගැන තොරතුරු දෙන්නම් කියලා. මමත් කිව්වා 'හරි ඔයා තොරතුරු දෙන්න අපි ඔයාට පොලිස් ත්‍යාග ලෙස මුදල් දෙන්නම්' කියලා. ඊට පස්සෙ මම DIG නාලක සිල්වාට නාමල් කුමාරව contact කරලා කිව්වා තොරතුරු ගන්න කියලා. ඒ තොරතුරු මත අපි ඔහුව හා පිරිසක් සැලසුම් සහගතව මත්ද්‍රව්‍ය සමඟ arrest කරලා නාමල් කුමාරව නිදහස් කළා.

    ඊට පස්සෙ දින කිහිපයකින් නාමල් කුමාර මට ආයෙත් කෝල් කරලා කිව්වා 'සර් බලන්නකෝ නාලක මහත්තයා පොරොන්දු වුණ විදියට කතා කරන්නේ නැහැනෙ' කියලා. මම මේ ගැන නාලකගෙන් ඇහුවම නාලක කිව්වා 'සර් ඒ යකා පිස්සෙක්. මහා පණ්ඩිතයෙක්' කියලා. මං ඒත් කිව්වා අපි පොරොන්දුවක් වුණානේ ඒ නිසා එයාව ගෙන්වලා සල්ලි දෙන්න කියලා.

    ඊට පස්සෙ නාමල් කුමාරට විග් එකක් දාල වෙස් ගන්වලා CID වාහනයකින්ම ඔහුව ගෙන්වලා රුපියල් ලක්ෂ 5ක් දීලා යැව්වා පොලිස් ත්‍යාගයක් විදියට. එතනින් අපේ ගණුදෙනුව ඉවරයි. මෙන්න ඊට පස්සේ මේ මනුස්සය මාධ්‍ය සාකච්ඡා තියලා අපිට මඩ ගහලා නාලක ගැන අර කතාවක් කිව්වා.

    ඊට පස්සෙ දවසක ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ සභාපති ලෙස හිටපු වෛද්‍ය සමන් කිතලවආරච්චි මහත්තයා මගෙන් ඇහුවා ඇයි අර නාමල් කුමාර ඔයාලට මෙහෙම කතාකරන්නේ කියලා. එතකොටම කිව්වා නාමල් කුමාර කියන්නේ අපේ දේශකයෙක් විදියට වැඩ කරන්නේ, එයාට ජනාධිපති කාර්‍යාලයෙන් ඒකට පඩි ගෙවනවා කියලා. ඉතින් මේ කොහෙන්ද ඉදන් ආපු නාමල් කුමාර කවුද කියල මට එතකොට තේරුණා. ඔහු ජනාධිපති කාර්‍යාලයට සම්බන්ධ එහි වැටුප් ගන්න කෙනෙක් කියලා දැනගත්තාම. "

    අනතුරුව හිටපු පොලිස්පතිවරයාගේ අවධානය 2017 මාර්තු 10 සිදුව තිබූ අලියාර් මංසන්ධියේ ගැටුම සහ ඉන් පසු සහරාන් හෂීම් සැඟව සිටීම සම්බන්ධයෙන් යොමු කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ සහරාන් සැඟවීමත් සමඟ කාත්තන්කුඩි පොලිසියට චෝදනා එල්ල වූයේද යන්නයි.

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "අලියාර් මංසන්ධියේ ගැටුමට පස්සේ කාත්තන්කුඩි පොලිසියට චෝදනාවක් ආවා සහරාන් සමඟ සමීපව කටයුතු කරනවා කියලා. මං මේ පරීක්ෂණයක් කරන්න කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකරට නියෝගයකුත් කළා. "

    ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - "ඔබට කියන්න පුලුවන්ද මේකට දේශපාලන බලපෑමක් තිබුණාද කියලා ? "

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "මම පැහැදිලිවම විශ්වාස කරනවා ඇඟිලි ගහන්න බැරි විදේශ මුදල් තොගයක් ගලාගෙන එද්දි එහෙම දේශපාලන බලපෑමක් තියෙනවා කියලා. පැහැදිලිවම මට ලැබුණු තොරතුරු අනුව හිස්බුල්ල තමයි ඒ. ඒක වඩාත් පැහැදිලි වෙනවා මේ කොම්සමේදීම හෙළිවුණ වීඩියෝවක සහරාන් කියනවනේ 'හිස්බුල්ලට විදෙස් මුදල් ලැබීම ගැන අකමැත්තක් නැහැ' කියලා. "

    ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - "ඔබ කියන්නේ සහරාන්ට හිස්බුල්ලා රැකවරණය දුන්නා කියලාද ?"

    පූජිත් ජයසුන්දර - හිටපු පොලිස්පති - "මුල් කාලයේදී නැහැ. පස්සෙ මට තේරුණා ලැබෙන මුදල් පිළිබඳව, විශ්ව විද්‍යාලය ගැන, හීරා පදනමට විදෙස් මුදල් ආපු ඒවා එහෙම කොහොම පාවිච්චි වුණාද කියලා ඉතින් "

    Latest News