මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා විය

ඔක් 23, 2020

    මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6782ක් දක්වා ඉහළට.

    කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු ඊයේ (23) හඳුනා ගැනිණ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, එම අසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ 182 දෙනෙකු ද වන බවයි.

    මේ වනවිට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවූ සමස්ත ආසදිතයින් සංඛ්‍යාව 2817 කි.

    ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියේය.

    2712 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3561 කි.

    මේ අතර මෙරට 14 වැනි කොරෝනා මරණය ඊයේ පස්වරුවේ වාර්තා විය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි.

    ඇය, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    එම කාන්තාව දියවැඩියාව වැනි වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු තැනැත්තිවක බව ද, ඔහු සඳහන් කළේය.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 6 කට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මේ වනවිට ක්‍රියාත්මක වේ.

     

     

    හැටන් නගරයේ පිහිටි සියලුම මත්ස්‍යය වෙළඳසැල් අද (23) දින වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කළහ.

    පැලියගොඩ මත්ස්‍යය වෙළඳපලෙන් මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කිරීම නිසා එම මත්ස්‍යය වෙලදසැල් වල වැඩ කරන සියලුම සේවකයින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරීම සඳහා මත්ස්‍යය වෙලදසැල් වසා දැමිමට පියවර ගත් බවයි, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කියා සිටියේ.

    පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ කොවිඩ් - 19 වෛසරය අසාධනය වු සේවකයෙකුගේ හැටන් දික්ඔය දරවල වත්තේ පිහිටි නිවසේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට ආරක්ෂක අංශ නිළධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (22) දින කටයුතු කළහ.

    පැලියගොඩ මත්ස්‍යය වෙළඳපොලෙන් මත්ස්‍යයන් රැගෙනවිත් අලෙවි කල තලවකැලේ නගරයේ වෙලදසැල් කිහිපයක්ද (23) දින වසා දමා එහි සේවකයින්ව පි.සි.ආර් පරික්ෂණයකට යොමු කිරීමට පියවර ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසීය.

     

     

    හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ් - 19 ආසාදිතයකු අනාවරණය වීමෙන් එම වෙළඳසළ වසාදැමීමට අද (23) සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

    වෙළඳසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසල් සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක්කර ඇතැයි, විජේසූරිය මහතා පැවසීය.

    එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය.

    තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාළ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

    බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි, ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය.

    බේරුවලින් පෑලියගොඩ මාළු වෙළඳපොළට මාළු රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, තහවුරු වීම හේතුවෙන් මෙම පියරව ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

    බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා ඊයේ(22) කළ පී. සී .ආර්. පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

     

     

    කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

    මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති අතර, ඔහු නව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

     

     

    කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාකාංගන සේවකයාගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ සිටි ඥාතිකයෙකු ගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි සඳහන් කර සිටිනවා.

    මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්‍රයෙන් 52ක් පිිසිආර් පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකුගේ පිසිආර් පරීක්ෂණ වාර්තා ඊයේ (22) රාත්‍රියේ ලැබූණු බව ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළේ.

    එම පරීක්ෂණ වාර්තා වලට අනුව 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළේ.

    තවත් 18 දෙනෙකුගේ පිසිආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

    මෙකී තත්ත්වය යටතේ කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා දැඩි සංචරණ සිමා පනවා ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍යවරයා සඳහන් කළේ.

     

     

    පන්නල මහජන සෞඛ්‍ය කාර්යාල බල ප්‍රදේශය තුළ ඊයේ (22 වැනිදා) දින වනවිට ​කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනකු හමුවී ඇතැයි එම කාර්යාලය පවසයි.

    එමෙන්ම 300 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

    එහි ප්‍රතිඵල වාර්තා 24 වැනි දින වනවිට ලැබීමට නියමිතය.

    මේ වනවිට පන්නල ප්‍රදේශයේ නිවාස 125ක් පමණ නිරෝධායනය කිරීම සඳහා යොමු කර ඇත.

    පන්නල පොලිස් බල ප්‍රදේශය පුරා කොරෝනා ඇඳිරිනීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පන්නල පොලිසිය කටයුතු කරමින් සිටී.

     

    කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

     

     

    පානදුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් පමණක් වසා තැබීමට තීරණය කළ බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.

    පෑලියගොඩ මාළු තොග වෙළදපොළින් කොරෝනා ආසාදිත රෝගීන් අනාවරණය වීම හේතුවෙන්, පානදුර ව්‍යාපාරිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.

     

     

    පානදුර ප්‍රධාන පෙළේ ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා ඇතැයි, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.

    ඇගලුම්හලේ එම ඒකක දෙකෙහි සේවය කරන සේවිකාවන් දෙදෙනකුගේ ස්වාමි පුරුෂයන් මාළු ව්‍යාපාරිකයන් බව අනාවරණය වී ඇතැයිද, ඔවුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනයවී තිබීම හේතුවෙන්, මෙම පියවර ගත් බව ද ඒ මහතා පැවසීය.

    ඇගලුම්හලේ සේවිකාවන් දෙදෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

     

     

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු පිරිස,

     

    කොළඹ - 79

    කඩුවෙල - 06

    දෙමටගොඩ - 15

    මොරටුව - 03

    කොටහේන - 04

    වැල්ලම්පිටිය -09 දෙනෙක් වාර්තා වේ.

     

    මීට අමතරව ඊයේ දිනට පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්,

     

    කොළඹ - 14

    කොටහේන -07

    මුල්ලේරියාව -04

    ග්‍රෑන්ඩ්පාස් -04

    බ්ලුමෙන්ඩල් -01

    දෙහිවල -01

     

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින්, ගම්පහ -08 වත්තල -02 රාගම -01 මිනුවන්ගොඩ -14 දිවුලපිටිය -05 කටුනායක -10

     

    ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ලෙන් ආසාදිතයින් 8 සහ ඉඳුරුවෙන් එක් ආසාදිතයෙක්, මාතරින් එක් ආසාදිතයෙක්, කුලියාපිටියෙන් ආසාදිතයින් 14ක් හා අනුරාධපුරයෙන් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

     

     

    බේරුවල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල වසා දැමීමට කටයුතු කළ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (23) පැවසීය.

    අලුත්ගම මාළු වෙළෙඳ ව්‍යාපාරිකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් අලුත්ගම මාළු වෙළඳපොළ වසා දැමූ අතර එම වෙළෙඳපොළට යාබදව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තිබූ බැවින් එයද වැසූ බව අමරසිංහ මහතා කීය.

    Last modified on සිකුරාදා, 23 ඔක්තෝබර් 2020 15:30

    Latest News