ප‍්‍රදේශ කිහිපයක අදත් වැසි

ජන 02, 2021

    ප‍්‍රදේශ කිහිපයක අද (02) දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වලට මෙන්ම හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ති‍්‍රක්ක වලට වැසි තත්වය වැඩි වශයෙන් බලපාන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

    ඇතැම් ප‍්‍රදේශ වලට පස්වරු එකෙන් පසුව ද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා.

    සබරගමුව පළාත මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි පස්වරුවේදී හටගන්නා බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ.

    කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප‍්‍රදේශ විටින්විට රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මුහුදු ප‍්‍රදේශ කිහිපයක සවස් කාලයේදී හෝ රාතී‍්‍ර කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

    Latest News