ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ පළමු අදියර විවෘතයි

මාර් 13, 2021

    මෙරට ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ නව නිර්මාණයක් සේ ඉදි කෙරුණු කොළඹ කොම්පඤ්ඤවීදිය ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ විවෘත කෙරිණ.

    ඒ, ආචාර්ය නාලක ගොඩහේවා සහ අජිත් නිවාඩ් කබ්රාල් යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටි 2012 වසරේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණ. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ මුදල එකවර ගෙවනු ලැබීමයි.

    සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 250ක්. ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලප්මන්ට් සමාගම ක්‍රියා කරනු ලැබේ. උසින් මීටර 230ක් වන ගොඩනැගිල්ල මහල් 68 කින් සමන්විතයි. මෙහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ, 2017 වසරේදී.

    ඉකුත් ආණ්ඩු සමයේදී ව්‍යාපෘතියේ වැඩ ඇනහිටි අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ඉදිකිරීම් යළි ආරම්භ කෙරිණ. මුදල් වැය කර ඇති නිවාස කඩිනමින් ඒවායේ හිමිකරුවන්ට ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ.

    සැලසුම් 4ක් යටතේ සුඛෝපභෝගී නිවාස ඒකක 407කින් ගොඩනැගිල්ල සමන්විතයි. වර්ග අඩි 1,400 සිට 5,000 දක්වා විවිධ වර්ග ප්‍රමාණවලින් නිවාස ඒකක මීට අයත්.මෙහි ඇති වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000ක්. වාහන 600ක් නවතාලිය හැකි රථ ගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක දෙකක් හා උත්සව ශාලාව ද ගොඩනැගිල්ලට ඇතුළත්.

    අක්කරයක භූමියක පැතිර ඇති උද්‍යානය ව්‍යාපෘතියට අලංකාරයක් එක්කර තිබේ. නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, සින්නක්කර විකුණුම් පදනම මත ලබාදෙන නිවාස ඒකකවල මිල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැති බවයි.

    සවුත්සිටි සහ ඉන්දියන් ඕෂන් යන සමාගම් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු බාරව ක්‍රියා කරයි. මේ ගොඩනැගිල්ලේ නේවාසික හා ව්‍යාපාර කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. ව්‍යාපෘතියෙන් පහසුකම් සෘජු සහ වක්‍ර රැකියා විශාල සංඛ්‍යාවක් ද බිහිවනු ඇතැයි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    Latest News