සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි; අගමැති

මාර් 14, 2021

    බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ පැවසීය.

    පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළේය. විහාරස්ථානයට පැමිණි අගමැතිතුමා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.

    අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකර තොරණ, චෛත්‍යයේ කොත නිරාවරණය කළ අගමැතිතුමා සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හඳුන් පැලයක් විහාරස්ථානයේ රෝපණය කළේය. මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍ර ධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.

    කීර්තිපාල රණතුංග මහතා විසින් සංස්කරණය කළ විහාරස්ථානය පිළිබඳ සමරු කලාපය සම්පත් රසාංජන මහතා විසින් අගමැතිතුමන් වෙත පිළිගැන්වූ අතර ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමින්වහන්සේ අගමැතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

    මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවත්වූහ. රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සැදැහැවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News