මුහුදේ දිය නෑමට ගිය හත් හැවිරිදි දැරිය මුහුදට බිලිවෙයි

අගෝ 01, 2021

    තංගල්ල කපුහේන්වල වෙරළ තීරයේ දිය නෑමට පැමිණ සිටි පානදුර ප්‍රදේශයේ පදිංචි යුවළකගේ හත් හැවිරිදි දැරියක්, වේගයෙන් පැමිණි රැළ පහරකට අසුවීමෙන් දියඹට ගසාගෙන ගොස් ඇත.

    අද (01) දහවල් කාලයේදී සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පානදුර කළුදෑවල ප්‍රදේශයේ පදිංචිව සිටී සනෝලි ගිහන්සා පීරිස් නැමැති හත් හැවිරිදි දැරියකි .

    සිය දෙමව්පියන් සමග පැමිණ සංචාරක හෝටලයක නතර වී සිට අද දහවල් කාලයේ මෙම ස්ථානයට දිය නෑමට ගොස් ඇති අතර එහිදී වේගයෙන් පැමිණි රළකට හසු වීමෙන් දැරිය මුහුදට ගසා ගෙන ගොස් තිබේ. තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිලධාරීන් පැමිණ කළ සෝදිසි කිරීමේදී දැරියගේ මෘතදේහය සොයා ගෙන ඇත. දැරියගේ සිරුර තංගල්ල මූලික රෝහලට ගෙන ගොස් තිබේ.

    තංගල්ල පොලීසිය වැඩිදුර පවත්වයි. මේ දිනවල දී මුහුදේ රළ ප්‍රචණ්ඩ ස්වභාවයක් ගන්නා බැවින් දිය නෑමට පැමිණෙන පිරිස් දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බව පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකය සහ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    Latest News