රු.මි. 32 කට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙක් නාවික හමුදා භාරයට

අගෝ 01, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඊයේ (31) සිදුකළ මෙහෙයුමකින් කේරළ ගංජා කි.109යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 02ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැණින.

    මුහුදු මාර්ගයෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

    යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ කළ සෝදිසි මෙහෙයුමේදී තවත් කේරළ ගංජා සහිත උරයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

    තවද, උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරතව සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සමඟ උතුරු නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මෙම මෙහෙයුම සිදුකළ නාවික පුද්ගලයින් හමුවී ඔවුන් ඇගයීමට ද එහිදී කටයුතු කෙරිණි.

    නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රු.මි. 32 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, කේරළ ගංජා තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ

    කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 28 යන වයසේ පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

    Latest News