ශ්‍රී දළඳා මංගල්‍යයයේ අවසන් රන්දෝලි මහා පෙරහර.....

අගෝ 23, 2021

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළේය.

    මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වුණේ ජන සහභාගිත්වයකින් තොරව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුවයි. අවසන් රන්දෝලි මහා පෙරහරේ සධාතුක කරඬුව රැගත් නැඳුන්ගමුවේ රාජා හස්තියා ශ්‍රී දළඳා මාළිගාවේ වාහල්කඩින් සඳගල මතට පා තැබුවේ ඊයේ රාත්‍රී 6.44ට යෙදුනු සුබ මොහොතින්.

    නැඳුන්ගමුවේ රාජා හස්තියා සඳගල මත පා තබන අවස්ථාවේ පාවඩය හොඬෙන් සකස් කළ ආකාරය පිළිබඳ දර්ශනය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබිණ.

    අවසන් රන්දෝලි මහා පෙරහරේ දෑලේ ඇතුන් ලෙස ගමන් කළේ රුහුණු මහා කතරගම දේවාලයේ “වාසනා“ සහ ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ “ඉන්දිරාජායි“ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේවීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීථියෙන් ඉහළට විත් ගෙවැදීම සිදුවිය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්‍ෂ මැතිණිය අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹුවේ මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයේ සිටයි. නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලයන්හි පෙරහර ද සියලු සංස්කෘතිකාංග සහිතව විචිත්‍රවත් ලෙස වීථි සංචාරය කළේය. ඊයේ මධ්‍යම රාත්‍රී පෙරහර කරඬුව ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී දළදා මාළිගාවේ සිට අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

    Perahera01 px 900 23 08 21

    සිව් මහා දේවාලයන්හි දිය කැපීමේ පෙරහර මහවැලි ගඟේ ගැටඹේ තොට දක්වා ගමන් කළේ, ඉන් අනතුරුවයි. දිය කැපමේ චාරිත්‍රයට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය දැක්වූ අතර, සියලු කටයුතු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි සිදු කෙරුණේ.

    අනතුරුව සිව් මහා දේවාලයන්හි දිය කැපීමේ පෙරහර කටුකැලේ “ගණදෙවි කෝවිල“ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණේ ඉපැරණි චාරිත්‍රයට අනුකූලවයි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හි දහවල් පෙරහර අද ආරම්භ කෙරුණේ කටුකැලේ “ගණදෙවි“ කෝවිල අසලින්.

    එම පෙරහර ශ්‍රී දළදා මාලිගා පෙරහර සමඟ එක්වූයේ අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානය අසලින්. පුරාණ සම්ප්‍රදායන්ට අනුකූලව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන පෙරහර කරඬුව ශ්‍රී දළඳා මාළිගාව වෙත වැඩම කරවීම දහවල් පෙරහරින් සිදු කෙරේ.

    දහවල් පෙරහර කරඬුව වැඩම කරවනු ලැබුවේ ශ්‍රීදළදා මාලිගාවේ සිංහරාජා හස්තියායි. අද පස්වරු 1.42ට යෙදුණු සුබ මොහොතින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයෙන් පිටත්වූ පෙරහර, මාළිගා චතුරඝ්‍රය වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදීම සිදු කෙරුණේ පස්වරු 3.27ට යෙදුණු සුබ මොහොතින්. ඒ සමඟින් 2021 මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්විය.

    Latest News