ජනපති සහ කෙන්යානු ජනපති අතර දුරකථන සංවාදයක්...  

සැප් 03, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මැතිතුමා අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.  

    නායක දෙපල දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.  කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේය.  දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බව එතුමා පැවසීය.  

    ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කර ගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේදී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැඟීසිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම වසංගතය ද පාලනය කර සාර්ථකව නැගී සිටීමට හැකි බව සඳහන් කළේය.  

    නායක දෙපල ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.  හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ තම සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා දෙරටේ ම ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීමේ සිය අපේක්ෂාව පළ කළේය.  නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන කෙන්යාව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටකි. 2020දී දෙරට අතර තානාපති සබඳතාවල පනස් වසර සම්පූර්ණ වූ අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව නව ඉහළ මට්ටමකට පිවිස ඇත.

    Latest News