පළාතකට සීමා නොවී ලංකාවම එකට සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නැහැ - අගමැති

පෙබ 27, 2022

    එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණෙ නැහැ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ පැවසීය.

    කිරම - කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අගමැතිතුමා මේ බව සඳහන් කළේය. සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ඔස්ට්‍රියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම කිරම - කටුවන ජල යෝජනා ක්‍රමය ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමසේවා වසම් 34කට පිරිසිදු පානීය ජලය බෙදාදීම සිදුවේ.

    වරාපිටියේ පිහිටි කිරම ජලාශයෙන් ජලය ලබාගෙන වෙළඳගොඩ නව ජල පවිත්‍රාගාරයක් ඉදිකරමින් ප්‍රදේශවාසීන් 26000ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට මෙමගින් පියවර ගෙන ඇති අතර වලස්මුල්ල, කිරම, කටුවන සහ මිද්දෙනිය මාර්ගයේ කිලෝමීටර් 24ක් දුරට ජල නල එලා පානීය ජල ගැටලුව වැඩි ප්‍රතිශතයකින් සපුරාලීමට සමත් වී ඇත. රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් වැඩ නිම කළ කිරම බස් නැවතුම්පොළ මහින්ද චින්තන පුරනැගුම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ ව්‍යාපෘතියකි. පසුගිය යහපාලන රජය විසින් මුළුමනින්ම නවතා තිබූ මෙම බස් නැවතුම්පොළ කඩ කාමර හයකින් ද සමන්විතය. මෙම අවස්ථාවට ජනතා නියෝජිතයින්, නිලධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News