දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලයට අනතුරක් අතලඟ

ජූනි 17, 2023

    දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලය මේ වන විට පවතින්නේ, දැඩි නාය අවදානම් තත්වයකයි.

    නාය අවදානම් කලාපයක පිහිටි මෙම පාසල වහා එම ස්ථානයෙන් ඉවත් කර දෙන ලෙසයි, දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. 2016 වසරේ සිට නාය යාමේ අවදානමට ලක් වූ පාසලක් ලෙස දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලය හඳුනා ගෙන තිබෙනවා. සිසු සිසුවියන් දහසකට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ මේ වන විටත් වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙසයි, නිර්දේශ කර තිබෙන්නේ.

    මේ හේතුව නිසා පාසලේ දූ දරුවන් සැලකිය යුතු පිරිසක් වෙනත් පාසල් කරා ගොස් ඇති අතර, ළමුන් 500 කට ආසන්න ප්‍රමාණයක් පමණක් මේ වන විට පාසලෙහි අධ්‍යයන කටයුතු වල නිරත වනවා. කෙසේ වෙතත්, පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ මෙම පාසලේ දරුවන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ, නිසි බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙනි.

    පාසලේ විද්‍යාගාරය ද නාය යාමට ලක්ව ඇති නිසා භාවිතා කිරීමට නොහැකිව අතහැර දමා ඇති අතර, බොහෝ පන්ති කාමරවල ද ජලය පිරී තිබෙන ආකාරය ද දැක ගත හැකියි. නාය යෑමේ අවදානම් කලාපයක පිහිටි මෙම පාසල එම ස්ථානයෙන් ඉවත් කර සිදු වීමට යන මහා විනාශය වලක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි, දරුවන්ගේ දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News