PTL ජෙෆ්රි ඇලෝසියස්ට රට ගමන් අවසරය අවලංගුවේ

ජූනි 20, 2019

    මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවකු ලෙස නම් ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය ලබාදී තිබූ අවසරය අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    දියණියකගේ විවාහ උත්සවයක් පැවැත්වීමට නියමිත බැවින් විදේශගතවීමට අවසර දෙන ලෙස ජෙෆ්රි ඇලෝසියස් මහතා නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කර මීට පෙර ඉල්ලා තිබීණ.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔහුට විදේශගතවීම සඳහා අනුමැතිය පිරිනැමීය.

    මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන්ට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇති හෙයින් විදේශගතවීමට ලබාදී ඇති අනුමැතිය අත්හිටුවන ලෙස නිතිපති මෝසමකින් අධිකරණය ඉල්ලා තිබුණා.

    මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට ලබන මස 01 වනදා සිට 14 වන දා දක්වා කාලසීමාව තුළ නීතිපතිවරයා අපේක්ෂා කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරිහාගම මහත්මිය අධිකරණය දැනුම් දිනි. ඒ අනුව සැකකරු විදේශගත වුවොත් ඔහුට සිතාසි හා අධිචෝදනා බාරදීම ගැටළු සහගත වනු ඇතැයි රජයේ නීතිඥවරිය පැවසියීය. ඔවුන් අධිකරණය මග හැර යාමේ අවධානමක් පවතින බව ඇය පෙන්වා දුනී.

    එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදේශගත වීම සඳහා ජෙෆ්රි ඇලෝසියස් මහතාට ලබා දී තිබූ අනුමැතිය අත් හිටුවීමට නියම කළාය.

    Latest News