Update : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

ජූලි 02, 2019

    අද පස්වරුවේ CIDය විසින් අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු CID අත්අඩංගුවට - (16:25)

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ පසුගිය අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

    ඊයේ (01) දිනයේ නීතිපතිවරයා විසින් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දුන්නේය.

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගිය 27 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ලද විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව හා අවසන් වාර්තාව සැලකිල්ලට ගෙන එම උපදෙස් ලබාදී තිබේ. එහෙත් මේ වනතෙක් ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම බරපතල කරුණක් වශයෙන් සලකන බව නීතිපතිවරයා ඊයේ දින වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ. එබැවින් පසුගිය 27 වැනි දින යොමු කළ ලිපියේ උපදෙස් අනුව මේ දක්වා කටයුතු නොකිරීමට හා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වූ හේතු ලිඛිතවම ඊයේ දිනයේ ම තමන්ට යොමු කරන ලෙස ඉන් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

    ඒ අතරතුර අද (02) පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රෝගී තත්වයක් නිසා රෝහල්ගත කෙරිණ.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති අතර හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 20:27

    Latest News