මරණීය දණ්ඩනයට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතාවක්

ජූලි 02, 2019

    මරණීය දණ්ඩනයට එරෙහිව මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති යැයි නීතිපතිවරයා මූලික විරෝධතාවක් මතුකරයි.

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කර ඇත.

    මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම පෙත්සම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇති බව ප්‍රකාශ කර ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් නඩු කටයුතු හැර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක නඩු කටයුත්ත පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම හරහා පෙත්සම්කරු ජනාධිපතිවරයාට එරෙහිව වක්‍රාකාරව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට තැත් කරන බවද පෙන්වා දී තිබේ.

    මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත.

    ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ තම පෙත්සම හරහා කිසිදු අවස්ථාවක ජනාධිපති වරයාගේ නිල කටයුත්තක් ප්‍රශ්න කිරීමකට බඳුන් නොකරන බවයි.

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වන මෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු බන්ධනාගාර බලධාරීන්ට එරෙහිව අතුරු සහනයක් ලබාගැනීම තම පෙත්සමේ අරමුණ බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කර ඇත.

    පෙත්සම්කරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පමණක් තෝරාගෙන එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය යුක්ති සහගත නොවන බවයි.

    ඒ අනුව එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනා ධිකරණයෙන් ඉල්ලා තිබේ.

    පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් තැබුණා.

    Latest News