විශේෂ සම්මානයට පාත‍්‍ර වූ සිනමාවේදීන් සහ නිර්මාණකරුවන් ඇගයීමට (වීඩියෝ)

ජූලි 02, 2019

    මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත‍්‍ර වූ සිනමාවේදින් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප‍්‍රදානයන් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේ දී සිදු විය.

    ප‍්‍රංශයේ නීස් සම්මාන උලෙළ, ජපානයේ ඔසාකා ආසියානු සිනමා උලෙළ සහ මොස්කව් නුවර පැවති අන්තර්ජාතික සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළේ දී සම්මාන හිමිකරගත් ශ‍්‍රී ලාංකික සිනමා සහ රූපවාහිනි නිර්මාණවේදින් මෙහි දී ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව නීටා ප‍්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට පාත‍්‍ර විණි.

    මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 1965 විද්‍යාර්ථින්ගේ 50 වන සංවත්සරය හා එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ප‍්‍රතිමාව නිරාවරණය කිරීම සඳහා මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨ විද්‍යාර්ථයින්ගේ එකමුතුවේ ඩී.එස්. එදිරිසිංහ, ආර්.එම්. කරුණාරත්න, ශාන්ති වර්ණසූරිය, ශාන්ත කැකුලාවල, ජිනිත් ද සිල්වා යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක්ව සිටියහ.

    ජාත්‍යන්තර ජිමිනාස්ටික් සංගමය මගින් පවත්වනු ලබන ලෝක ජිම්නාස්ටික් ක‍්‍රීඩා උලෙළට සහභාගීවීම සඳහා පිටත්ව යන ප්‍රියන්ති සමරවීර, මිල්රෝයි ජයමාන්න සහ බස්නායක යන ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත ද ජනාධිපතිතුමා අතින් මුදල් පරිත්‍යාග පිළිගැන්විණි.

    2019 අගෝස්තු මාසයේ දී එංගලන්තයේ වෝස්ටර්හි දී පැවැත්වෙන 06 වන ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් සැණකෙළියට සහභාගී වන ශ‍්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ද ජනාධිපතිතුමා අතින් මුදල් ප‍්‍රදානයක් සිදු විය.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 19:58

    Latest News