“දිනන මිනිසුන්ගේ සොඳුරු නිවහන” ට ලක්ෂ 18ක් (වීඩියෝ)

ජූලි 02, 2019

    ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “දිනන මිනිසුන්ගේ සොඳුරු නිවහන” සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් 900ක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද(02) අරලියගහ මන්දිරයේ පැවැතිවිණි. ඒ සඳහා ජයග්‍රාහකයින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගෙන ඇති අතර එක් ජයග්‍රාහකයෙකුට ලක්ෂ 2 බැගින් චෙක් පත් ප්‍රදානය කිරීම සඳහා රුපියල් කෝටි 18ක් වෙන් කර ඇත.

    එම උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් ....

    ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපයේ දී රටේ සංවර්ධනය තව තවත් වේගවත් කරන බව පැවසීය. පසුගිය කාල වකවානුවේ දී බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව ජනමත ගොඩනැගීම් වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බවත්, ඒ අභියෝග හමුවේ අසාර්ථක නොවී ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකි වූ බවත් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

    ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සමෘද්ධි නිවාස ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබන අතර පසුගිය මාස 6 හි ජයග්‍රාහකයින් සඳහා අද දින චෙක්පත් ලබාදීම සිදු කෙරිණි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “අප්‍රේල් 21 වන දා බෝම්බ ප්‍රහාරයෙන් රටට විශාල හානියක් සිදු වූ අතර ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. එවැනි අවස්ථාවක නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නම් වෙනත් රටකට වසර 3 - 4 ක් පමණ ගත වෙනවා. නමුත් අප එම අවස්ථාවේ ගත් තීන්දු තීරණ නිසා රට ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි වුණා. එම ප්‍රහාරයෙන් පසුව මාසයක් ගත වීමටත් පෙර ජනතාවට සමෘද්ධිය ලබාදීම ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ අතරතුර ජනතාවට ඉඩම් හිමිකම් ලබාදීමටත් අප කටයුතු කළා. රජයේ ඉඩම්වල වසර 10 ක අඛණ්ඩව භුක්තිය විදි ජනතාවට එම ඉඩම් සඳහා සින්නක්කර අයිතිය ලබාදීමටත් අප නීති ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.”


    “අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට අප කටයුතු කරනවා. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ රටේ සමස්ත සිසු පරපුරට පරිගණක අධ්‍යාපනය ලබාදීමයි. මෙම වැඩසටහන පළමුවෙන් ජාතික පාසල් හරහා ආරම්භ කරන අතර දෙවැනි අදියරේ දී වයිෆයි පහසුකම් සහිත පළාත් සභා පාසල් සඳහා ක්‍රියාත්මක කරනවා. එහි තුන්වැනි අදියර යටතේ උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන අනෙක් සියලූ පාසල් සඳහා වයිෆයි පහසුකම් ලබා දී, අනතුරුව ටැබ් පරිගණක ලබාදෙනවා. මෙම වැඩසටහන කිහිප දෙනෙකුට පමණක් සීමා වන්නේ නැහැ.”

    “බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉක්මනින් රට යථා තත්ත්වයට පත් කරමින් සංවර්ධන වැඩසටහන් සියල්ල අතරමග නතර නොකොට ඉතා කෙටි කාලයක් තුළ ඒවා ක්‍රියාත්මක කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කළා. මම අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන්නේ සංවර්ධන වැඩසටහන් සියල්ල සැප්තැම්බර් – ඔක්තෝබර් මාස වන විට අවසන් කරන ලෙසයි. බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව විශාල ජනමත ඇති කිරීම් ආදිය හමුවේ වෙනත් ආණ්ඩු බිඳ වැටෙනවා. අපේ ආණ්ඩුවටත් මේ සියල්ලට මුහුණදීමට සිදුවුවත් ඒ කිසිඳු අභියෝගයක් හමුවේ අසාර්ථක නොවී සීඝ්‍රයෙන් ඉදිරියට යාමට අපට හැකි වුණා. ඒ සඳහා නව වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය වසර 5 ක කාලය තුළ රටේ විශාල සමාජ ආයෝජනයක් ඇති කිරීමට අප කටයුතු කළා. රටේ ආර්ථික දියුණුව ඇති වන්නේ එම සමාජ ආයෝජන මතයි. ඒ සඳහා දයා ගමගේ අමාත්‍යතුමා සිදු කර තිබෙන සේවය මම විශේෂයෙන් අගය කරනවා. ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලූම රාජ්‍ය සේවකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.”


    “අපේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරන වේගය කිසි විටෙකත් අඩාල කරන්නේ නැහැ. ඉදිරි මාස කිහිපයේ දී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යෙදවීමටත් අපි කටයුතු කරනවා.”

    එහිදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පැවසූයේ එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ඇඟළුම් කම්හල් ආරම්භ කිරීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවත්, එවකට 10% ක් ව පැවැති රටේ අපනයනය එම ඇඟලූම් කම්හල් හරහා 54% දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ය.

    ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කරන විට විරුද්ධවාදීන් විවිධ චෝදනා එල්ල කළ නමුත් ගල්ඔය ව්‍යාපාරය සාර්ථක කර ගනිමින් ජනතාවට සහන රැසක් ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වූ බව දයා ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, සමෘද්ධි නිවාස ලොතරැයි චෙක්පත්ලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    මීට අමතරව ඉකුත් ජූනි මාසයට අදාළ ජයග්‍රාහකයින් තේරීමද මෙහිදී සිදු කෙරිණ. එළෙස තෝරාගත් 331 දෙනෙකුට රුපියල් හය කෝටි හැටලක්ෂයක් බෙදා දීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 19:54

    Latest News