උපාලිට පහරදුන්නේත් කීත් නොයාර් ඝාතනයට තැත්කළේත් එකම සැකකරු (වීඩියෝ)

ජූලි 09, 2019

    මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ යැයි සැක කරන බුද්ධි අංශ සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් ඝාතනයට තැත් කිරීමට ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දෙයි.

    මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වන ලලිත් රාජපක්ෂ නමැත්තා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ලිඛිත උපදෙස් රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ බව නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

    නීතිපතිවරයා මෙම ලිඛිත උපදෙස්වලින් දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව එම අපරාධය සම්බන්ධයෙන් ලලිත් රාජපක්ෂ නැමැත්තාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

    ඒ අනුව ලලිත් රාජපක්ෂ නමැති සැකකරු කීත් නොයාර් පැහැර ගෙන යාම පිළිබඳ නඩුව විභාග කරන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැකකරු ලෙස නම් කිරීමට පියවර ගන්නා මෙන් ද නීතිපතිවරයා රහස් පොලිසිය වෙත ලබා දී ඇති උපදෙස් වල සඳහන් වේ.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 19:40

    Latest News