මුදල් ලැබුණත් හදලා දෙන්න කෙනෙක් නැති පාලම

ජූලි 09, 2019

    කොත්මලේ ඔය හරහා ඉදි කර ඇති තාවකාලික පාලම වෙනුවට ස්ථිර පාලමක් ඉදි කරදෙන ලෙස ප්‍රදේශවාසීහු වගකිය යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

    කොත්මලේ ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන කැටබුලාව ප්‍රදේශයේ කොත්මලේ ඔය හරහා ඉදි කර ඇති උණ බම්බු සහිත තාවකාලික පාලම වෙනුවට ස්ථිර පාලමක් ඉදි කර දෙන ලෙස එම පාලම හරහා ගමන් ගන්නා ජනතාව ඉල්ලා සිටිති. කැටබුලා වත්ත උඩ කොටස, කොලපතන, තලපතන, ගොන්ගාල, පැටගන් යන ගම්මාන රැසක දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් දිනපතා නාවලපිටිය නගරයට පිවිසීමට ඇති කෙටි මාර්ගය වශයෙන් මෙම ගඟ හරහා ඉදි කර ඇති තාවකාලික පාලම භාවිතා කරනු ලැබේ.

    මහවැලි ගඟට ජලය ගලා බසිනා කොත්මලේ ඔය හරහා ඉදි කර තිබු ස්ථිර පාලම මිට වසර දෙකකට ප්‍රථම නාවලපිටිය ප්‍රදේශය ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාලම කැඩිගොස් විනාශ වි ඇත. ගං වතුරට පාලම කැඩි යාමත් සමග ප්‍රදේශයේ ජනතාව එක් වී උණ බම්බු උපයෝගි කර ගනිමින් මෙම ඔය හරහා තාවකාලික පාලමක් ඉදි කර එම පාලම හරහා පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව ගමන් කරනු ලැබේ. එම තාවකාලික පාලම මේ වන විට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම පාලම මතින් ගමන් ගන්නා ජනතාවගේ ජීවිතද දැඩි අවධානමක පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. කැඩී ගිය පාලම වෙනුවට අලුතින් ස්ථිර පාලමක් ඉදි කිරිමට රුපියල් එක්කොටි විසි පන්දහසක ප්‍රතිපාදන වෙන්කර ඇත. නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එ සඳහා ටෙන්ඩර් පත් කැදවා ඇතත් එම පාලමේ ඉදි කිරිම් කටයුතු මේ වන තෙක් ආරම්භ කර නොමැති බව කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි එස්. මුතුකුමාර මහතා කියා සිටියි. එළඹෙන වැසි සමයට පෙර මෙම පාලමේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරන ලෙසත් දැනට ඉදිකර ඇති උණ බම්බු සහිත තාවකාලික පාලම කැඩී ගියහොත් තම ගමනාන්තය දක්වා යාමට කිලෝමිටර 4 කට වඩා වැඩි දුරක් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරිමට සිදු වන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 16:48

    Latest News