උණ රෝගීන්ට ලබා දෙන ඖෂධ ගැන අනතුරු ඇඟවීමක්

අගෝ 09, 2019

    උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

    මෙම ඖෂධ භාවිතා කරන ලද රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 

    ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට අයත් ප්‍රෙඩ්නිසිලෝන්, මිතයිල් ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙතසෝන් යන ඖෂධ උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගියෙකුට ලබා නොදිය යුතු බව හෙතෙම සඳහන් කළේය. 

    යම් හෙයකින් අදාළ ඖෂධ භාවිතා කිරීමේදී රෝගියාට ඩෙංගු වැළඳී ඇත්නම් රෝගය උත්සන්න වී මාරාන්තික විමට ද හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

    Latest News