කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු නොවේ.... අගමැති කුරුණෑගලදී (විඩියෝ)

අගෝ 11, 2019
  • දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහතා දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අද (11) කුරුණෑගලදී පැවසීය.


    වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය තුළ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලූ රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩ නඟාදීමට පියවර ගත් බවත් එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා ද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවා ද කියා තීරණය කළ යුතු කාලය එළඹ තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහතා මෙම අදහස් පළ කළේ අද (11) පෙරවරුවේ කුරුණෑගල නගර සභා ශාලාවේදී පැවැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2018 වසරේ වගා හානී වූ ගොවි ජනතාවට වන්දි පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි.

    එහි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    "අද දින මම මෙම ස්ථානයට පැමිණීමට පෙර දිවංගත සාලින්ද දිසානායක මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගොඩවුණා. සවස් කාලය වන විට මේ ප්‍රදේශයේ යම් යම් පිරිස් කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගී වෙනවා. නම වෙනස් කරමින් තමයි එම සම්මේලනය පවත් වන්නේ. එලෙස නම වෙනස් කිරීම පිළිබඳව මා සුභ ප්‍රාර්ථනා කරනවා.

    මහින්ද රාජපක්‍ෂ පාලනයට වසර 10 ක් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එසේ නම් නම වෙනස් කරමින් බලයට පැමිණ ඔවුන්ට රට සංවර්ධනය කළ හැකි ද කියා මා විමසා සිටිනවා. යුද්ධය අවසන් වුණාට පසු රටේ සංහිදියාව ඇති වුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබුණා. නමුත් සියලූ අභියෝග මධ්‍යයේ වසර 05 ක් තුළ අපි සංහිදියාව ඇති කරමින් ඉදිරියට පැමිණියා.

    රාජපක්‍ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැති වුණා. රට ලෝකය හමුවේ හුදකලා වුණා. නමුත් වසර 05ක් තුළ මේ සියල්ල යළි ගොඩනඟමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වුණා.

    වසර 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරන්න ඒ පාලකයින්ට හැකි වුණේ නැහැ. එදා මාධ්‍ය නිදහස තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ නැහැ. සුදු වෑන් සංස්කෘතියක් රටේ ඇති වී තිබුණා. හැම අතින්ම රට පිරිහීමකට ලක්ව තිබුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළේ නැහැ. නැවත මෙවැනි විනාශකාරී යුගයකට ගමන් කරනවා ද එසේත් නැති නම් ගත වූ වසර 05 තුළ සිදු කරගෙන ආ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් රට දියුණු කර අනාගතය ගොඩනඟා ගන්නවා ද කියා ජනතාව තීරණය කළ යුතුයි. වසර 10 කින් සංවර්ධනය කිරීමට නොහැකි වූ රට නැවත සංවර්ධනය කළ හැකි ද? ඇඳුම් හා මුහුණ මාරු කිරීමෙන් වෙනසක් සිදු වන්නේ නැහැ. කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. මොනවා කළත් කොබෙයියා රාජාලියෙක් වෙන්නේ නැති බව ජනතාව තෙරුම් ගත යුතු යැයි වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය."

    මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා තරම් දුරදක්නා නුවණින් ක්‍රියා කළ වෙනත් නායකයෙක් ලංකා ඉතිහාසයේ නොසිටි බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවිධ අභියෝග මධ්‍යයේ රට ගොඩනැගීමට පියවර ගත් බවත්, එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන මොහොතක ඇතැම් බලවේග බුදු දහම හා ජාතිවාදය අවුස්සා බලයට පැමිණීමට ජනතාවට මුලාකරමින් සිටින බවත් පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත් බව මෙහිදී පෙන්වාදුන් කෘෂිකර්මාන්ත, ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙවර යල කන්නයේ සිට වී කීලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දමන බව සඳහන් කළේය.

    එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 14:37

    Latest News