මහින්දගෙන් ඉඟුරු කලාපයක්

නොවැ 24, 2018

    කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති "අපි වවලයි අපි කන්නේ" වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කර තිබෙන වගා සංවර්ධන කලාප පිහිටුවීමේ ව්‍යාපෘතිය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. 

    දැනට මෙම ව්‍යාපෘතිය යටතේ අඹ, රටකජු, අන්නාසි, උඳු, මිරිස්, මිදි සහ දොඩම් වගා කලාප ප්‍රදේශ ගණනාවක ස්ථාපිත කර ඇති අතර මීට අමතර වශයෙන් ඉඟුරු වගා කලාපයක් ආරම්භ කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    එම ඉඟුරු වගා කලාපය ලබන සතියේ අලව්ව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

    2017 වසරේ දී මෙරටට ඉඟුරු සහ කහ ආනයනය කිරීමට රජය මගින් වැය කර ඇති මුදල රු.මි.1315කි. අපේ රටේ හොඳින් වගා කළ හැකි කහ සහ ඉඟුරු විදේශ රටවලින් ආනයනය කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    දිවයිනේ සියලුම පොල් ඉඩම්වල යටි වගාවන් වශයෙන් පළතුරු, එළවළු, ඉඟුරු හා කහ වගා කිරීමට මෙන්ම මීමැසි පාලනය සඳහා ද යොදා ගන්නා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇති උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    දැනට අපේ රටේ පොල් ඉඩම්වලින් බහුතරයක කිසිඳු යටි වගාවක් නිදු කරන නොමැති අතර ඒ නිසා විශාල ඉඩ ප්‍රමාණයක් කිසිඳු ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    එම නිසා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පොල් සහ රබර් වගාවන් අතර යටි වගාවක් වශයෙන් අතුරුබෝග වගා කිරීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    Latest News