“ස්පේස් එක්ස් ඩ්‍රැගන්“ ගගනගාමීන් නිරුපද්‍රිතව පෘථිවියට

අගෝ 03, 2020

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස දෙකක ඓතිහාසික මෙහෙයුමකින් අනතුරුව “ස්පේස් එක්ස් ඩ්‍රැගන්“ කැප්සියුලයෙන් නාසා ගගනගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව පෘථිවිය වෙත ළඟා විය.

    මෙය වසර 45කට පමණ පසු අමෙරිකාව ජලය මතට ගොඩබෑමක් කළ පළමු අවස්ථාවයි. 1970 දශකයේ ඇපලෝ මෙහෙයුමේ දී අවසන්වරට මෙලෙස සාර්ථකව ගොඩබෑමක් කර තිබේ. මෙවර කැප්සියුලය විශාල පැරෂුට් 04කට ආධාරයෙන් මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගොඩබානු ලැබීය. ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය වෙත පැමිණි අතර, කැප්සියුලය ජලයට වැටුණු විගස ඒ අවට රැඳී සිටි මුදා ගැනීමේ කණ්ඩායම් කැප්සියුලය ජලයෙන් ඔසවා ගගනගාමීන් ඉන් පිටතට ගැනීමට කටයුතු කළේය.

    මෙම ගොඩබෑම සඳහා නාසා ආයතනය ෆ්ලොරිඩා අවට ස්ථාන 07ක් මුලින් තෝරාගෙන තිබූ නමුත්, ඉන් සුදුසුම ස්ථානය ලෙස සැලකූ කේප් කැනවරල් ආශ්‍රිත අත්ලාන්තික් සාගරයේ ඇති වූ නිවර්තන කුණාටුවකින් පසු ෆ්ලොරිඩාවේ බටහිර වෙරළ තීරය වෙත ගොඩබෑමේ මෙහෙයුම වෙනස් කිරීමට අවධානය යොමු කෙරිණ.

    Latest News