රුසියානු - යුක්‍රේන යුද ගැටුමේ නවතම තතු...

මාර් 09, 2022

    යුක්‍රේනයේ ඊශානදිග සුමී නගරය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට නව සටන් විරාමයක් ක්‍රියාත්මකයි.

    නගරවාසීන් 7,000 ක් පමණ ඉවත් කරගත් බව සහන සේවකයන් පවසනවා. සුමී නගරය ඉතා ඉක්මණින් රුසියානු හමුදා අතට පත්වීමේ ඉඩකඩක් නිර්මාණය වී ඇති බවයි, වාර්තා වන්නේ. සති දෙකකට අධික කාලයක් පුරා යුද ගැටුම් පවතින යුක්‍රේනයේ, මේ වන විට මානුෂීය අර්බුදයක් දිගහැරෙමින් පවතින බව ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් සහ විදෙස් මාධ්‍ය සඳහන්කරනවා.

    යුක්‍රේන බලධාරින් පවසන්නේ සටන් ඇවිලෙමින් තිබෙන නගරවල ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් ජලය, ආහාර හා විදුලිය නොමැතිව මහත් දුෂ්කරතාවට පත්ව ඇති බවයි. මේ අතර ඇතැම් යුක්‍රේන වැසියන් තම පෞද්ගලික මෝටර් රථවලින් පිටව යමින් සිටින බව වාර්තා වනවා. ඊයේ දිනයේ රුසියාව සටන් විරාමයකට එළඹීමෙන් පසුව සුමී නගරයේ සිවිල් වැසියන් 7,000 කට අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශවලින් පලාගොස් ඇති බව එහි නගරාධිපති මාධ්‍යට පවසා තිබෙනවා.

    යුක්‍රේන - රුසියා යුධ ගැටුම් හේතුවෙන් මිලියන 02 කට වැඩි යුක්‍රේන සරණාගතයින් සංඛ්‍යාවක් පෝලන්තය, මෝල්ඩෝවාව, ස්ලෝවේනියාව සහ හංගේරියාව යන රටවලට පළාගොස් තිබෙනවා. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ යුධ ගැටුම් පවතින නගරවල ඖෂධ සහ ආහාර හිඟයක් පවතින බවයි. එම තත්වය තවත් නරක අතට හැරෙමින් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

    මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ සිවිල් වැසියන් 474 කට අධික සංඛ්‍යාවක් යුක්‍රේන - රුසියානු යුධ ගැටුම් නිසා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ අතර ළමයින් 27 දෙනෙකු ද වනවා. තුවාල ලැබූ පිිරිස 860 කට අධිකයි. යුක්‍රේන ජනාධිපති සෙරෙන්සිකි රුසියානු ෂෙල්වෙඩි සහ ගුවන් ප්‍රහාර මගින් පාසල් 202 ක්, රෝහල් 34ක් සහ නේවාසික ගොඩනැගිලි 1,500 ක් විනාශ වී ඇති බව ජාත්‍යන්තරයට පවසා තිබෙනවා. මරිපෝල් නගරයට ඊයේ මානුෂිය ආධාර රුගෙන යමින් තිබූ බස් රථ පෙළක් ආපසු හරවා යැවීමට යුක්‍රේන බලධාරින් කටයුතු කළා. එම බස් රථ පෙළට රැසියානු හමුදාව නොනවත්වා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් එම පියවර ගෙන තිබුණා.

    Latest News