උපදෙස් නොතකා කෝවිල් ගිය 24 ක් කොටුවේ

අප්‍රේ 14, 2020

    ආරක්ෂක අංශ උපදෙස් වලට අවනත නොවෙමින් අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමට කෝවිල්වලට රැස්වූ පුද්ගලයින් 24 දෙනෙකු තී‍්‍රකුණාමලය සහ උප්පුවේලි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන් පුද්ගලයින් 11 දෙනෙකු තී‍්‍රකුණාමලය, භද්‍රකාලි අම්මාන් කෝවිලේදී කිරි ඉතිරවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළ අතර උප්පුවේලි කන්නියා ප‍්‍රදේශයේ ගයාත‍්‍රී කෝවිලේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයින් පිරිසක්ද අත්අඩංගුවට ගැනුණු බවයි, පොලිසිය ප්‍රකාශ කළේ.

    ඒ අනුව මෙම පිරිස ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි, පොලිසිය සඳහන් කරන්නේ.

    මේ අතර අද පෙරවරු 06 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරිනීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 1,600 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉකුත් මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීති කඩකළ පුද්ගලයින් 26,830 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

    Latest News