ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් අත්අඩංගුවට

අප්‍රේ 18, 2020

    දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපය තුළ දී ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඊයේ සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනය කරමින් කියා සිටියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි. සෙසු දිස්ත්‍රික්ක 19ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ලබන 20 වැනිදා උදේ 6.00ට ඉවත් කෙරේ.

    ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කළ කළ පුද්ගලයින් 1,392 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලිස් බාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 381. ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා පුද්ගලයින් 31,681 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වාහන 8,151ක් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි අද දිනයේ ද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කළේය. එහි දී ද ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැණින.

    අනුරාධපුර, නොච්චියාගම, පොලිස් බල කොට්ඨාසයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 236 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින. එහිදී වාහන 92ක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

    මේ අතර ඌව සහ සබරගමුව පළාත් වෙන්වන මායිම්වල ද පොලිසිය පුද්ගලයින් සහ රථවාහන දැඩි පරීක්‍ෂාවට ලක් කළේය. අත්‍යවශ්‍ය සේවා හැර සෙසු වාහන සහ පුද්ගලයින්ට ගමනාගමනය අවස්ථාව ලබා නොදෙන බව අප වාර්තාකරු පවසයි.

    ඇඳිරි නීති සමය තුළ දිස්ත්‍රික්ක අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම තහනම්වේ. එම නීතිය කඩ කරමින්, ඇඳිරි නීති බලපත් නොමැතිව කොළඹ සිට අනුරාධපුරයට පැමිණි තරුණයෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

    ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ සෞඛ්‍ය අංශවල උපදෙස් නොපිළිපදිමින් කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශ මැද පිහිටි ගොඩබිම් සහ ඉවුරු ප්‍රදේශවල සැරිසරන තරුණයින් පිරිසක් මසුන් ඇල්ලීමට සහ ස්නානය කිරීමට මෙම ස්ථානවලට පැමිණෙන බව වාර්තාවේ.

    නීති විරෝධි ලෙස මැණික් කර්මාන්තයේ යෙදුණු වතු කම්කරුවන් සිව් දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරු, ගොඩදමා තිබූ මැණික් ඉල්ලම් සහිත පස් සහ උපකරණ රැසක් පොලිසිය බාරයට ගැණින.

    බදුල්ල, වේවැල්හින්න වතු කම්කරු නිවාසයේ ගව ගාලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් බදුල්ල සුරාබදු නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී වටලනු ලැබූහ. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණින.

    Latest News